Breaking News

” අපේ අම්මා ⁣මගේ exam ලකුණු ගැන විතරයි මෙච්චරකල් හිතුවේ . හැබැයි ඊයේ ඒ සේරම වෙනස්වුනා “

 මිගාර බමුණුසිංහ

මේ එකොළහ වසරේ ඉගෙන ගන්න දරුවෙක් එවපු දිගම දිග කෙටි පණිවිඩයක පුංචි කොටසක්. මේ කෙටි පණිවිඩය එව්වේ මට නෙමෙයි . මේ දරුවාගේ ආදරණීය ගුරුවරයාට. අප්‍රමාණ සතුටකින් සහ අභිමානයෙන් තමා ගැන කතා කරන මේ දරුවා ගැන මීට දින කිහිපයකට කලින් මං ඔබට ලිව්වා. ඉතාම මෑත දවසක සූම් අවකාශය හරහා පැවැත්වූ දීප ව්‍යාප්ත කාව්‍ය නිර්මාණ තරඟයක ප්‍රශස්තම කාව්‍ය නිර්මාණය විදියට තේරී පත්වුනේ මේ දරුවා විසින් කරපු නිර්මාණය. ඒ නිර්මාණ අගය කර විනිශ්චය කරමින් තෝරන්න මට පැවරිලා තිබුණා. මේ කවිය ළඟ මම ගල්ගැහී නතර වුණා. ඒ නිර්මාණයට ඔහු නම් තබල තිබ්බෙ ” බබා තොටිල්ලේ ජාතිය වලපල්ලේ ” කියල. මේ කවියේ අයිතිකාරයා නැත්නම් ඉහත මං ලියපු කෙටි පණිවිඩය එව්වේ රත්නපුර කුමර විදුහලේ එකොළහ වසරේ ඉගෙන ගන්න පසිඳු ලේකම්ගේ ශිෂ්‍යයා.

පසිඳු ලියන කවිය හරි අභියෝගාත්මක කවියක්. හැම අතින්ම අංග සම්පූර්ණ කාව්‍ය නිර්මාණයක් ලෙස අගය කරන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි මේ කවිය හරි අපූරුයි. ඒ කියන්නේ මීට කලින් මේ විදියට කවියක් ලියවිලා නැහැ. මේ පුංචි කවියා නොපෙනෙන පුරාජේරු වර්ණනා කරමින් ඉතිහාසයේ වීරත්වයන් සොයාගෙන ඉස්මතු කරමින් ලංකාව පිළිබඳ ලිවීම වෙනුවට කරන්නේ පෙනෙන සැබෑ සත්‍ය දැකීම සහ එහි සැගවුන ඇත්ත ඇති සැටියෙන් ලිවීම. සමාජය විනිවිද දකින ඔහුගේ දෘෂ්ටිය. හැබැයි ඒ ප්‍රකාශ කිරීම අලුත්ම විදියකට . සාහිත්‍යයේ කතාවක් තියනවා කියන දේට වඩා වැදගත් කියන විදිහ කියල. මේ කවියා තමා අනූභූති කර ගත් ප්‍රස්තුතය ඉදිරියට ගෙන යාමට ආකෘති කර ගන්නේ ජාතික ගීයක් වගේම ලක් වැසි දනන්ගේ මුවින් මුව ගැයුණු එස්.මහින්ද හාමුදුරුවෝ ලියපු ජාතික තොටිල්ල. මෙන්න කවිය, ඔබත් බලන්න මේ කවිය අපූරුයි කියන එකේ කිසිම වරදක් නැහැ.

බබා තොටිල්ලේ ජාතිය වල පල්ලේ

දොයි දොයි දොයි
දොයිය බබා
බයි බයි බයි
බයිය බබා

බ්ලූමැන්ඩල් සිඹිමින්නේ
කොලොම්බො ෆැට් පෙදෙසින්නේ
කුණු හුළග‍යි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ

ණය බර මහ මුහුදක් වේ
එහි ඇපයත් උබේ රට වේ
ඒ බව සිහි කොට මෙලොවේ
වෙන රටකට යා යුතුවේ

කටුවාපිටි දෙවුපියසේ
පිපීරී ගොස් මල මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැලවෙන බව සිතනු පුතේ

ජාතිය හිස් කොලයක් වේ
ආගම ගිනි පුපුරක් වේ
එය අවුලන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුබවේ

සිනිදු මොලොක් බව ගලෙහී
පිරිසිදුකම කුණු ගොඩෙහී
එක්වීම මා පුතුගෙ ලෙහී
අරක් ගනී සැම දිනෙහී

තවත් නිදාගනින් බබා
වෙනත් වැඩක් නැතේ බබා
උනුත් මෙහෙන් ගියා බබා
අපිත් මෙහෙන් යමුකෝ බබා

-පසිදු ලේකම්ගේ
Rathnapura
R/Prince Collage

පසිඳු ලේකම්ගේ කවියාට සුබ පතන්න. මම මේ සටහන ලියන්න හිතුවෙ ඒ නිසා නොවෙයි. පසිඳු ගැන ⁣මම දැනගෙන ඔබ දැනුවත් කර අවසන්. නැවත කියවන්න පසිඳු ලේකම්ගේ කවියා ලියන දිග කෙටි පණිවිඩයේ කියවා බැලිය යුතුම කොටස.

” සර් , අපේ අම්මා ⁣මගේ exam ලකුණු ගැන විතරයි මෙච්චරකල් හිතුවේ . හැබැයි ඊයේ ඒ සේරම වෙනස්වුනා ”

මේ කෙටි පණිවිඩය මට එවන්න තරම් පසිඳු ලේකම්ගේට සිංහල උගන්වන කවියට මෙහෙයවුපු ගුරුවරයා කෘතඥ වුනා. මම ඇත්තටම හිතුවෙ අපිට එදිනෙදා හමුවන දරුවන් අතර පසිඳු ලේකම්ලා තවත් කී දෙනෙක් නම් ඇත්ද ? පිසිඳුලා කී දෙනෙක් නම් ලාංකීය ගුරුවරුනට මගහැරෙනවා ඇත්ද ? හැම දරුවෙක් තුළම පුංචි කාලෙදි අපූරු වූ කලාකරුවෙක් ජීවත් වෙනවා. හිතලා බලන්න. ගෙදර බිත්ති වල පාට කූරකින් බලි නොඇදපු දරුවෙක් ඉන්නවද ? වචන හය හතර අමාරුවෙන් තාලෙට ගීත නොගයපු දරුවෙක් ඉන්නවද ? නැටුමකට අකමැති වුන දරුවෙක් ඉන්නවද ? ගහකෙළෙ දිය ගොඩ කුරුලු සිව්පා සතුන්ට ආදරය නොකරපු දරුවෙක් ඉන්නවද ? නැහැ. හැම දරුවෙක් ළඟම පුංචි කාලෙදි දිව්‍යමය තෑග්ගක් විදිහට සාහිත්‍ය කලාව තිබුණ. හැබැයි දෙමාපිය වැඩිහිටි ගුරුවරු හැමදෙනෙක්ම ඒ අයට පෙන්වූයේ නිමා නොවන තරඟයක පාර. ඔවුන් අනෙකා ඉක්මවා යන්නට වෙර දරන තරඟකාරයො වුනා. පළවෙනියා වීමේ සිහිනයක් දකින්නන් වුනා. දෙමාපියන් දරුවන්ටත් එහා ගිහින් තමන්ගේ දරුවන් පළමුවැනියන් කරන්නට උත්සාහ ගත්තා. කලාව සාහිත්‍ය අමතක වුනා. සමහර විටක තාක්ෂණික මාධ්‍ය ,සමාජ මාධ්‍ය උගුල්වලට අහුවෙලා තාක්ෂණික උපකරණයක වහල්ලු වුනා.

හැම දෙමාපියෙක්ම වැඩකලේ කැපවුනේ තමන්ගේ දරුවො පළමුවැනියන් කරන්න. ඔවුන්ගේ අනාගත ජීවිතය වඩා යහපත් කරන්න. සාධනීය පෝෂණීය අනාගතයක් හිමිකරන්න. හැම දෙමාපියෙක්ම හිතුවෙ එවිට ඔවුන්ගේ ජීවිතයේ සතුට ආරක්ෂා වේවි කියල. හැබැයි මට හිතෙන විදියට එහෙම වුනේ නැහැ. මධ්‍යම පාංතික දෙමාපියන් ගතකරපු ජීවිතයේම දෙවැනි පරිච්ඡේදයේ දරුවන් ජීවත් වුනා. අපේ දරුවාව යහපත් ආකල්පමය සතුටෙන් ජීවත්වන නිදහස් චින්තයෙක් කරන්න පුලුවන් කොච්චර අපූරු ද . දරුවාගේ අනාගත සතුට මුදල සහ තත්වය මත පමණක් පදනම් නැති බව තේරුම් ගන්න ඔබට පුලුවන් නම් ඔබ ඔ⁣බේ දරුවා තුළ ඉන්න කවියා , චිත්‍ර ශිල්පියා , සංගීත කාරයා , නර්ථන ශිල්පියා , ලේඛකයා , නිදහස් චින්තකයා බිහි කරන්නත් උත්සාහ කරාවී. තමාට තමාව අදුන ගන්න තවම බැරි වෙච්ච පසිඳු ලේකම්ලා වගේ දරුවෝ ඕනෑ තරම් ඉන්න පුලුවන්. පසිඳු ලේකම්ල ව⁣ගේ කවියෝ සාහිත්‍යකාරයෝ සංගීිතකාරයෝ නිදහස් චින්තකයෝ ඇත්ත බොරුව වෙන් කර ගන්න පුළුවන් දරුවෝ ඕනෑ තරම් හමුවේවී. එහෙම දරුවන්ට තමා තුළින් තමාව සොයා ගන්න උදව් කරන්න. කවියෙක් හමුවුනොත් මටත් කියන්න…

leave a reply