Breaking News

විමල්ලා අටවන උගුලට හසුවන්නේ කවුද

සමන්සිරි හේරත්

විමල් වීරවංශ නැවත වතාවක් තමන් පෙනී හිටපු කණ්ඩායම අතහැර එතනින් එළියට ඇවිත් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී විමල් වීරවංශ රාජපක්ෂලාගේ දෑත් සවිමත් කරන්නට රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම වෙත ගමන් කරනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණේන් මිදී යන මොහොතේ දී දැඩි ලෙස ජනතා විමුක්ති පෙරමුණට දෝෂාරෝපණය කරමින් රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න ගිය විමල් වීරවංශ වසර 15 ක් වැනි දීර්ඝ කාලයක් එම කඳවුරේ දරදිය අදිමින් රාජපක්ෂලාගේ උවමනාවන් වෙනුවෙන් ලැජ්ජා විරහිත ව ජනතාව මං මුලා කරමින් සුදු දේශපාලනයේ යෙදී සිටියා.ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව බරපතළ ආර්ථික බිඳවැටීමකට ලක් වී තිබෙන මොහොතේ රටේ ජනතාවගෙන් දිනපතා එල්ලවෙන විරෝධය වැඩිවෙන අවස්ථාව බලා  විමල්  රාජපක්ෂ පවුලේ දේශපාලනයෙන් අයින් වෙනවා.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කොටගත් පසුගිය පාලොස් වසරක ආසන්න දේශපාලන ඉතිහාසය තුළ විමල් මව්බිම, දේශමාමකත්වය, ජාතික නිදහස වැනි තප්පර දේ වෙන්දේසි කරමින් රාජපක්ෂ කියන නම ප්‍රමෝට් කරමින් දේශපාලනය නියැළුණා. අපට මතකයි ගෝඨාභය ජනාධිපති කරන්න විමල් සෑහෙන්න  දර දිය ඇද්දා . එවකට තිබුණු මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව චෝදනා ගොනු කරමින් 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය ද දඩමීමා කරගනිමින්  ගෝඨාභයගේ ජනාධිපති සිහිනය සැබෑ කරන්න රටේ ජනතාව දේශපාලනික වශයෙන් නන්නත්තාර කරමින් රාජපක්ෂලා වෙනුවෙන් තමන්ගේ සේවය ඉෂ්ට කළා.

කෙසේ වෙතත් දැන් විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවට ශක්තිය සැපයූ කණ්ඩායම් එකොළහක් වෙනමම වෙනත් සන්ධානයක් නිර්මාණය කරගෙන ඉන්නවා.

අපට පෙනෙන්නට ආණ්ඩුව අභ්‍යන්තරය තිබුණු අර්බූදයක් දැන් දේශපාලන එළිමහන් පිට්ටනියට ඇවිත් නිදහසට කරුණු ඉදිරිපත් කරමින් තමන්ගේ නිදොස් බව ජනතාව ඉදිරියේ තබන්න විමල් ඇතුළු කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මෙහිදී වඩා වැදගත් වෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර අර්බුදය දිගින් දිගටම තිබුණු බව ප්‍රකාශ කරන මොහොතේ දී  ව්‍යවස්ථාව හරහා සමස්ථ රටවැසියාට මොවුන්ගේ දායකත්වයෙන් එල්ල කරපු තර්ජනය පිළිබඳව ඔවුන්ට අමතක වී යෑමයි.

විමල් දැඩි ප්‍රහාරය එල්ල කරන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙතයි . බැසිල්ගේ ග්‍රහණය ජනාධිපති වරයාගේ සිට ආණ්ඩුව දක්වාම ගමන් කර තිබෙන බවත් ඒ ග්‍රහණයෙන් මිදී ආණ්ඩුවට ගමන් කිරීමට නොහැකි වීම නිසා මේ අර්බුද නිර්මාණය වූ බව විමල් දැන් අපිට කියනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නට ඉඩ සැලැස්වීම නීතියට පටහැනි මෙන්ම ඒක රටේ ස්වාධීනත්වයට හානියක් වෙනවා කියලා එවකට ආණ්ඩුවෙන් පිට හිටපු  දේශපාලන පක්ෂ කණ්ඩායම් සමාජ ක්‍රියාධරයන් ප්‍රකාශ කරද්දි විමල්ලා ඒක හෑල්ලුවට ලක් කළා. ඒ අවස්ථාවෙදි විමල්ලා කිව්වේ රට ගොඩ නැගෙනවට දේශපාලන කුහකකම් කරනවා කියලා. එපමණක්ද නොව රාජපක්ෂ කණ්ඩායමෙන් එළියට ආවට  පසුව විමලාගේ මොලේ පෑදිලා තියෙනවා. බැසිල් කියන්නේ ආර්ථිකය පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති පුද්ගලයෙක් කියලා දැන් විවේචනය කරනවා. නමුත් රාජපක්ෂවරුන් ප්‍රමුඛ කරගෙන මේ කණ්ඩායම යන ගමන නිවැරදි ගමනක් නෙමෙයි රට විනාශය කරා ඇදගෙන යන ගමනක් කියලා මීට බොහෝ කලකට ඉස්සෙල්ලා මේ පිළිබඳව අවබෝධයක් තිබුණු මිනිස්සු ප්‍රකාශ කරද්දී විමල්ලා හිනා උනා.

ඇත්තටම දැන් කුමක් ද සිදුවෙමින් පවතින්නේ

ගෙවුණු වසර දෙක තුළ ව්‍යවස්ථාව වෙනස් කරමින් රට අස්ථාවර කිරීමට විමල් ගම්මන්පිල ඇතුළු මේ සියලු දෙනා අත උස්සලා පනත් සම්මත කරනු ලැබුවා. රටේ වටිනා කියන ආයතන විකුණන්න , බදු දෙන්න මේ අය තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළා. ඉතින් වර්තමානයේ ගොඩනැගී තිබෙන යම් ගැටලුවක් ප්‍රශ්නයක් වේ නම් මේ හැම එකටම විමල් ගම්මන්පිල ඇතුළු මේ සියලුදෙනා වගකිව යුතුයි. තමන්ගේ වුවමනාවන් ඉෂ්ට කරගන්න බැරි වුණු මොහොතේ දී එළියට බැහැලා ජනතාව ඉදිරියේ සුජාත වෙන්න හදන මොවුන් නිර්මාණය කරන්නේ  ඊලග දේශපාලන උප්පරවැට්ටියක් කියන එක අපි තේරුම් ගත යුතුයි.

පැහැදිලිවම විමල්ලා මේ මොකක්ද කරන්නේ

ඉදිරි මැතිවරණයක් සඳහා නියමිතව තව වසර තුනක කාලයක් ඉතිරි වෙලා තියෙනවා. රටේ ජනතාව ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වෙත එල්ල කෙරෙන විරෝදය  දිනෙන් දින වැඩි කර ගනිමින් ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කලකිරෙන ජනතාව යන්නේ කොහාටද ඔව් මේ මොහොත දේශපාලනිකව හඳුනා ගන්නවා නම් මේ සිද්ධ කරන්නේ ඊළඟ සන්ධානයකට ගැලපෙන ආකාරයට පොදුජන පෙරමුණෙන් විසිවෙන ජනතාව නැවත වෙනත් ගුබ්බෑයමක් වෙත යොමු  කරගන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම ද කියන එක අපිට උපකල්පනය කරලා තියාගන්න පුළුවන්.

දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසේ   වසර පහෙන් පහට රැවටෙන ජාතියක් හැටියට අපිට මේ පිළිබඳව වඩාත් සබුද්ධිකව දේශපාලනිකව හිතන්න සිද්ධ වෙමින් තියෙනවා.

leave a reply