Breaking News

කුමන්ත්‍රණකාරී ලෙස පෙ.ස.ප. මර්දනය කිරීමේ උත්සාහයක් තියෙනවා – දුමින්ද නාගමුව

මේ වනවිට ආණ්ඩුවේ මර්දනකාරී දූසිත හා ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයට එරෙහිව නැගී සිටින ජනතාවගේ අරගලය කුමන්ත්‍රණකාරි ලෙස භාවිත කරමින් මිලිටරිකරණය වෙත ගෙන යාමේ උත්සාහය පරදවන ලෙස පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඉල්ලා සිටී.

අද සවස විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරනය කළේය. පහත සටහන් වන්නේ දුමින්ද නාගමුව විසින් ෆේස්බුක් මගින් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශයේ සටහනකි.

“ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව විසින් සැලසුම් සහගතව රඟදක්වමින් සිටින නාඩගම සම්බන්ධව අප ආරම්භයේ සිට රටේ ජනතාව වෙත කරුණු දැක්වවුවා. පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඊයේ(9) ගෝඨාගෝගමට ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිස යෙදවීමක් කළා. එවැනි සිදුවීමක් වුණාම එයට ප්‍රතිචාර ලෙස අනෙක් පැත්තට ක්‍රියාදාමයක් සිදුවන බව ඔවුන් දන්නවා. රට පුරා පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ගේ නිවාස දේපළවලට පහරදීමට පාර කැපුවෙ ඔවුන්. මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂට මුහුණ දෙන්න වුනු ප්‍රශ්නයට ඒ මන්ත්‍රිවරුන්ට මුහුණ දෙන්න වෙලා.

ඊළඟට දේශබන්දු තෙන්නකෝන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙදි පිරිසකගේ පහර කෑමට ලක් වුණා. ඒ වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව පෙනෙන දේ තමයි, ඒ පහරකෑම සඳහාම ඔහු පැමිණි බව. කිසිදු ආරක්ෂක පිරිසක් හෝ නිලඇඳුම නැතිව එම ප්‍රදේශයට පැමිණීමෙන් ඔහු දන්නවා මේ තියන තත්වය තුළ ජනතාව ප්‍රකෝපවීමට ඉඩ තිබෙන බව. ඒ නිසා එම තත්වය ඇති කිරීමට තමයි ඔහු ඒ විදියට පැමිණියේ. අපි ඒක පැහැදිලිව දකිනවා. දැන් ඔවුන් සූදානම් වෙනවා අද රාත්‍රි පොලිසිවලට පහර දෙන්න. මේ ආකාරයට පොලිසිවලට පහරදීම සිදුකරන්නෙ ආණ්ඩුව විසින්මයි. ආණ්ඩුව විසින් පොලිසියෙ හමුදාවෙ හෝ කවුරුන් හෝ මැර කණ්ඩායම් හෝ යොදවාගෙන පොලිස් ස්ථාන ගණනාවකට පහරදීලා ඒ පහරදීමේ වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පටවලා පෙ.ස.ප. සමග ඉන්න අනෙකුත් සංවිධානවලට මර්දනය කැඳවීමේ උත්සාහය එක පැත්කින් තිබෙනවා.

පහුගිය දිනවල මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවුවා. ඒ හදිසි නීතය යටතේ ජනතා දේපළ ආරක්ෂා කිරීමේ නාමයෙන් හමුදාවට වෙඩිතැබීමේ අවසරය ලබා දෙන බවට නියෝග නිකුත්කර තිබෙනවා. මේ යන්නෙ ගෝඨාභය රාජපක්ෂ ඉතුරු වෙලා හමුදා පාලනයකට මිලිටරිකරණයකට පාර හදාගන්න. මේ අයට පාලනය අතහැර යාම සඳහා මිලිටරියට බලයක් ලබාදීම අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසාම කෙලින්ම මිලිටරි පාලනයකට පාර කපන්න පවා ඔවුන් පැකිලෙන්නෙ නෑ. ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීම සඳහා එවැනි දෙයකට පවා ඔවුන් පසුබට වෙන්නෙ නෑ. අන්න එතැනට තමයි දැන් පැමිණිලා තියෙන්නෙ.

මේ රටේ ජනතාවගෙන්, විශේෂයෙන් අරගලයේ යෙදී සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ තත්වය හොඳන් තේරුම් ගන්න. මේ ලෑස්ති වෙන්නෙ මිලිටරිකරණයකට පාර කපන්න. මේ බලලෝභී පවුල සූධානම් වෙන්නෙ මුලු රටම බලය වෙනුවෙන් ලේ විලක් බවට පත් කිරීමටයි. ඒකට ඉඩ දෙන්න එපා.

අපි මේ අරගලය ඉතාමත් තීරණාත්මක තැනකට ගෙනැවිත් තිබෙනවා. විශාල මහජන අරගලයක් බවට පත්ව තිබෙන නිසා මේක කාටවල් ආපසු හරවන්න බෑ. රාජපක්ෂලාට මේ රටේ නැවත පාලනයක් කරන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. හැබැයි අපට ඒක කරන්න පුලුවන් වෙන්නෙ මේ වර්ධනය වී තිබෙන තත්වය ප්‍රචණ්ඩත්වයකට යාම තමයි මිලිටරිකරණයකට යන්න ආණ්ඩුව පාවිච්චි කරන්නෙ. අන්න එවැනි තත්වයක් ඇතිවීම පරාජය කළොත් පමණයි අපට මේ අරගලයෙ ඊළඟ පියවර ජයග්‍රහණය කරන්න ලැබෙන්නෙ.

ගෝඨාභය රාජපක්ෂ ඉවත් කරන්න, විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න, හොරා කාපු ධනය නැවත අත්පත් කරගන්න, මේ රටේ ගොවියන්, ධීවරයන්, කම්කරුවන්, ශිෂ්‍යයන් ඇතුළු අනෙකුත් ප්‍රජාවන්ගෙ දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒවට විසඳුම් සොයාගැනමෙ තෙක් අපට මේ අරගලය ඉදිරියට ගෙන යන්න හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් දැඩි ලෙස ආයාචනා කරනවා මේ රට මිලිටරිකරණයකට ගෙනයන කිසිදු ක්‍රියාවලියකට සම්බන්ධ වෙන්න එපා. පොලිස් ස්ථානවලට පහර දෙන්න හෝ වෙනත් පොදු දේපළවලට හානිකරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් එයින් ඈත් වෙන්න. පෞද්ගලිකව පහරදීම් කිරීමෙන් ඈත් වෙන්න. මේ අරගල තුළින් රට මිලිටරිකරණයක් වෙත ඇදගෙන යාමට ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් මේ ජන අරගලය අසාර්ථක වෙනවා. ඒ නිසා එම තත්වය වළක්වන්න ඔබේ සහයෝගය දෙන ලෙස දැඩි ලෙස ආයාචනා කරනවා.”

leave a reply