Breaking News

දරුවන්ට ඉගැන්වීම් සිදුකරන ගමන් අරගලය ඉදිරියට ගෙනයනවා – ඒකාබද්ධ ගුරුසේවා සංගමය

මෙතෙක් ගත් ක්‍රියාමාර්ගවලින් වෙනස්ව දරුවන්ට ඉගැන්වීම් සිදුකරන ගමන් ගුරු – විදුහල්පති අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර පවසයි.

ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ facebook පිටුව හරහා වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ. ඒ අනුව 21 සහ 22 යන දින දෙක තුළ වර්ජනයකින් පසු 25වන දින පාසල්වලට යන බවද ඔහු පවසා තිබේ. ගුරු සහ විදුහල්පති සංගම් විසින් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදිව මෙම තීරණය ගන්නා ලද බවද සංජීව බණ්ඩාර පවසා ඇත.

සංජිව බණ්ඩාර පැවසූ අදහසෙහි සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ

“පාසල් ආරම්භ කරලා මේ අරගලය කඩාකප්පල් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ වගේම මේ අරගලයට විරුද්ධව පාසල් දරුවන් දෙමව්පියන් පෙළ ගස්සන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ප්‍රාදේශීය දේශපාලනඥයෝ යොදාගෙන පොලීසි, හමුදා අධිකරණ යොදාගෙන කරපු බලපෑමක් තියෙනවා. එවැනි බාධාකිරීම් මධ්‍යයේ තමයි මේ අරගලය ඉදිරියට යමින් තිබෙන්නෙ. ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැතිවුනාට අරගලය මර්දනය කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුව වසර එකහමාරකට පමණ පසු පාසල් අධ්‍යාපනය ආරම්භ කළත් ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ. පාසල් ආරම්භ කිරීමේ එකම අරමුණ බවට පත්වෙලා තියෙන්නේ මේ රටේ ගුරුවරුන්ගේ සහ විදුහලපතිවරුන්ගේ අරගලය අඩපන කිරීම. තවදුරටත් අපි ක්‍රියාමාර්ගවල හිටියොත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා යන මතයක් සමාජයට ගෙනවිත් ඒ හරහා සමාජය අපට එරෙහිව උස්ගනවන්න එක තමයි අරමුණ.

අඩුම වශයෙන් පාසල්වලට අවශ්‍ය විෂබීජ නාශක සහ අනෙකුත් පහසුකම් සපයන්නවත් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. පොලිසිවලට යවන ලද ලිපියේ සඳහන් වෙන්නේ ඒ දේවල් සම්පත් දායකයින්ගෙන් සපයා ගන්නා ලෙසයි.

අරගලයක් පවා දුන්නද නැද්ද යන්න තීරණය වන්නේ අපි ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග අනුව. විවිධ ක්‍රියාමාර්ග හරහා අරගලයක් ඉස්සරහට යන්න පුළුවන්. අපි ආණ්ඩුව එක්ක එකඟතාවයකට ඇවිල්ලා ආණ්ඩුවට රැවටිලා ආණ්ඩුවේ වුවමනා අනුව බලවේග රවට්ටලා තියෙනවනම් අරගලය පවා දුන්නා කියලා චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. එකිනෙකට විවේචන එල්ල කිරීමෙන් එහාට මේ අරගලය ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්නේ කොහොමද මේ අරගලය වෙත සමාජ බලවේග කැඳවන්නේ කොහොමද කියන එක තමයි අපි හිතන්න ඕනා.

ආණ්ඩුව හිතන්නේ පාසල් ආරම්භ කරලා ගුරුවරු පාසල් ආවහම සටන ඉවරයි කියලා. දෙලක්ෂ හැටපන් දහසක් ගුරුවරුන්ගේ ශක්තිය පෙන්නමු. දෙලක්ෂ හැටපන් දහසක් නොසතුටට පත්කරලා කොහොමද ආණ්ඩුව ඡන්ද කරන්නේ කියලා පෙන්නමු. කතිරෙ ගැහීම හෝ නොගැහිම ගැන නෙමෙයි. රටේ මත හැදීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. ආණ්ඩුව ගුරුවරුන්ට, අධ්‍යාපනයට කරන්නේ මොකක්ද කියන එක රටට ජනතාවට කියමු. “

leave a reply