Breaking News

දුරකථන කුළුණු සෑදීමේ උත්සහයක් නිසා නියඳගල කන්ද විනාශ මුඛයේ

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය කොට්ඨාසයේ ගම්මැදගම ග්‍රාම නිළධාරී වසමේ පිහිටි සුන්දරම සහ ⁣⁣⁣ඓතිහාසික නියදගල කන්ද අද වන විට විනාශ කර දැමීමේ උත්සාහයක් පවතී.

ඒ ප්‍රසිද්ධ සමාගමක් විසින් සිය දුරකථන සංඥා කුළුණු කිරීමට දරන උත්සාහයත් සමගයි.

දුරකථන සංඥා කුළුණ ඉදි කිරිම සඳහා ආයතනයක් විසින් 2021/8/18 දින කිසිදු අවසරයකින් තොරව උත්සාහ දරන අවස්ථාවේදී අප සහ ගම්මු ඉදිරිපත්ව දක්වනු ලැබූ විරෝධය නිසා අදාළ දුරකථන සංඥා කුළුණ ඉදි කිරීම එම ආයතනය විසින් තාවකාලිකව නවතා දමන ලදී.

නැවතත් 2021/10/02 දින එම පුද්ගලික දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අදාළ සමාගම එම ස්ථානයට පැමිණ මැනුම් කටයුතු කිරීම ආරම්භ කරන ලදී.

2022/10/18 දින අදාළ පුද්ගලික දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් එම, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමිය, හා පොලීසිය පැමිණ මෙය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී. එහිදී ජනතාව මෙම කුළුණ ඉදිකිරීමට විරුද්ධ වන බව පැවසුව ද ප්‍රාදේශීය ලේකම්වරිය එයට සවන් දීමකින් තොරව දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය ස්ථානය ද, එම දුරකථන කුළුණ ඉදිකිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් වනාන්තරය මැදින් කිලෝමීටර් එකක පමණ මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් ද එහිදී සාකච්ඡා කරන ලදී.

පරිසරයට ආදරය කරන කණ්ඩායමක් ලෙසත්, ගම්වාසීන් ලෙසත් මුලටියන ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපයත්, දුරකථන කුළුණ හිමි සමාගමේ ක්‍රියා කලාපයත්, දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකින්නෙමු. එයට හේතුව, මෙම කුළුණ ඉදි කරන ප්‍රදේශයේ ස්වභාවික වනාන්තරය මෙන්ම සතා සිවුපාවාට උරුම ගහ කොල, මෙම කුළුණ සහ මාර්ගය ඉදිකිරීමත් නිසා විනාශ වී යන නිසාය.

නියඳගල වන වදුල අක්කර දහ හතරකින් (14) යුතු අතර, ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ද ක්‍රියාත්මක වෙමින් උල්පත් රාශියක් ලෙසින් මෙම කන්දෙන් ආරම්භ වී මුලටියන හා හඳුගල ප්‍රදේශයටත්, කුඩා ජල දහරාවන් ලෙස ගලා ගෙන යනු ලබයි.

ස්වාභාවික ශාක, සත්ව සන්හතියක් පි⁣රිවරා ගෙන සිටින මෙම හුදෙකලා කන්ද, “නියඳගල” යනුවෙන් හදුන්වා ඇත්තේ මෙම ස්ථානයේ නියඳ (Sansevieria zeylanica)නම් ඖෂධ තිබෙන නිසා යැයි ජනප්‍රවාදයේ පවතින මතයකි. අද වන විට වුවත් නියඳගල කන්ද තුළ නියඳ ඖෂධීය ශාකය සමග ඖෂධීය ශාක ගණනාවක් දැකගැනීමට හැකිය. අංකෙන්ද (Acronychia pedunculata), කොබ්බෑ (Allophylus cobbe), අක්කපාන (Kalando Pinata), ඉර මුසු (Hemidesmus indicus), කප්පර වල්ලිය(Cuban oregano), මුස්සැන්ද (Mussaenda frondosa), සදුන්, දිවි කදුරු (Tabernaemontana dichotoma), කැකුණ (Canarium zeylanicum), කටුපිල (Flueggea leucopyrus), අහු (Morinda citrifolia), එල ඔලිද (Abrus melanospermus), වැනි ඖෂධීය ශාක ද, විශාල ශාක විවිධත්වයක් ද මෙම ප්‍රදේශයේ දක්නට ඇත.

දටත්, අවට පාරම්පරික වෙදදුරන් හා බොහෝ දුර ඈත වෙසෙන පාරම්පරික වෙදදුරන් මෙන්ම ගම්වාසීන් ඖෂධ සොයා පැමිණෙන්නේ මෙම වනාන්තරය තුළටයි.

ස්වභාවික සම්පත්වලට අමතරව ප්‍රදේශවාසීන් තමන්ගේ ආගමික කටයුතු සිදු කරන ආරණ්‍ය පිහිටා ඇත්තේ ද මෙම නියඳගල වනාන්තරය තුළය.

සුපුන් ශර්මා, ලිනා පර්හිර් විසින් පංජාබ් විශ්ව විද්‍යාලයේ දුරකථන හා එහි තරංග මගින් සිදුවිය හැකි බලපෑම සම්බන්ධව සිදුකරන ලද, “Effect of Mobile Phone Radiation on Nodule Formation in the Leguminous Plants” පර්යේෂණයට අනුව ඔවුන් කියා සිටින්නේ දුරකථන සංඥා තරංග මගින් කායික විද්‍යාත්මක හා රසායන විද්‍යාත්මක බලපෑමක් ශාකවලට සිදුවිය හැකි බවයි.

මේ අනුව වනාන්තර තුළ දුරකථන කුළුණු ඉදිකිරීම එම වනාන්තර තුළ වෙසෙන සත්ව හා ශාක ප්‍රජාවට අහිතකර බලපෑම් ගෙන එන බවට තහවුරු වී ඇත. එමෙන්ම ඉහත දුරකථන කුළුණ ඉදි කිරීමට උත්සාහ කරන සීමාවේ මිනිසුන් ජීවත්වෙන ප්‍රදේශයක් ද ඇත. එහෙත් ජනතාවටත්, පරිසරයටත් විශාල බලපෑමක් එල්ල කළ හැකි බැවින් මෙම දුරකථන කුළුණ මෙම ප්‍රදේශයේ ඉදි නොකිරීමට හා ඒ සඳහා අවසර දීමට ප්‍රාදේශීය ලේකම්වරිය උත්සාහ නොකළ යුතුය.

leave a reply