Breaking News

ඉතාලියේ විශ‍්‍රාම වැටුප් ගැටලූව ලංකාවේ අගමැතිගේ මැදිහත්වීමෙන් විසඳේ?

තීමස් විජිත්

මේ දින වල අගමැති මහින්ද ඉතාලියේ සැරිසරන අතර විවිධ කතා බහට ලක්වී තිබේ. ඒ අතර වැඩියෙන්ම දකින්නට ලැබෙන්නේ ලාංකිකයින්ගේ විරෝධයයි. එය කෙසේ හෝ තනුක කර ගැනීමේ උත්සහයක ආණ්ඩු හිතවාදීන් හා ඔවුන්ගේ රෙදි හෝදන මාධ්‍ය යෙදී සිටින බව මේ දින වල පෙනී යයි. ඒ අතර ලාංකිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේ ඉතාලියේ විශ‍්‍රාම වැටුප් සම්බන්දයෙන් ඔහුගේ මැදිහත්වීමක් ඇයැද සිටි බව හා ඒ පිළිබඳ ඉතාලි ආණ්ඩුව සමග සාකච්ඡුා කිරීමට ජී. එල්. පීරිස් ඇමතිවරයාට පැවරූ බව සඳහන් විය. ඉතා කෙටියෙන්ම කියන්නේ නම් මෙය ලාංකිකයින් ඇන්දවීමකි. ඉතාලියේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රියාවළිය රට රටවල් අතර පවතින සබඳතා අනුව හෝ යම් පාර්ෂවීය මැදිහත්වීමකින් වෙනස් කල හැකි දෙයක් නොවන බව කිව යුතුය. ඒ වෙනුවට ඉතාලියේ රැකියා කරන/ජීවත්වන ලාංකීකයින් මුහුණ දෙන තව බොහෝ ගැටලූ තිබෙන අතර (වීසා ගැටලූ/ලිපිලේඛණ ගැටලූ/රැකියා ගැටලූ/ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ගැටලූ ආදිය) ලංකාවේ ආණ්ඩුවේ මැදිහත්වීමකින් ඒවා නිරාකරණය කරගත හැකි බව අපගේ විශ්වාසයයි. හැබැයි එසේ වන්නට නම් ලංකාවේ ආණ්ඩුවද ඒ සඳහා වගවීම අත්‍යාවශ්‍ය වේ. නමුත් සිදුනොවන්නේද එය නිසා ඒ ගැන සාකච්ඡුාකර පලක් නැත.

ඒ වෙනුවට මේ යෝජනාව එනම් වසර 20ක රැකියා කාලයකින් පසු විශ‍්‍රාම වැටුප ලබා ගැනීමට මැදිහත් වන ලෙස කල ඉල්ලීම කිසිසේත් මෙවන් මැදිහත්වීමකින් වෙනස් කල හැකි දෙයක් නොවන බව තේරුම් ගත යුතුය. නමුත් එයට ලොකු ප‍්‍රචාරයක් දීමට කටයුතු කරන මාධ්‍යයේ අරමුණ ලාංකිකයින්ට යම් සහනයක් ලැබෙනවාට වඩා ජනතාව නොමග යවා අගමැතිවරයා හුවා දැකිවීම බව පෙනී යයි. එහි ඛේදවාචකය වන්නේ පොදුවේ ලාංකිකයින් රැවවීමට උත්සහ කිරීමයි

ඉතාලියේ විශ‍්‍රාම වැටුප් ප‍්‍රධාන කොටස් තුනකට වර්ගීකරණය කර ඇත.

x විශ‍්‍රාමික විශ‍්‍රාම වැටුප (අදාල වයස සම්පූර්ණ කිරීමෙන්)
x ආබාධිත විශ‍්‍රාම වැටුප (රැකියාවක් කිරීමට හැකියාවක් නැති අය සඳහා)
x සුභසාධන විශ‍්‍රාම වැටුප (ආදායමක් නැති/රැකියාවක් කිරීමට ශක්තිය නැති)

ඒ වගේම සමාජ ආරක්ෂණ අරමුදල වෙත දායක මුදල් ගෙවන ආකාරය අනුව හා එය ගනනය කරන ආකාරය අනුව ගෙවීම් තීරණය වේ.

විශ‍්‍රාමික විශ‍්‍රාම වැටුප ගෙවීම කෙසේද කියා අවධානය යොමුකල හොත් එහිදී 2021 වන විට වයස අවුරුදු 67 මාස 7 සම්පූර්ණ වීම හෝ දායක මුදල් ගෙවීම අවුරුදු 41යි මාස 10 ක් (කාන්තා) අවු. 42යි මාස 10 ක් පිරිමි ලෙස දායක මුදල් ගෙවා ඇත්නම් සම්පූර්ණ විශ‍්‍රාම වැටුපට හිමිකම් ලැබේ. එහිදී වයස සම්පූර්ණ වන විට ගෙවා තිබෙන දායක මුදල් අනුව විශ‍්‍රාම වැටුප තීරණය වන අතර අවම වැටුප ලැබීමට නම් දායක මුදල වසර 20ක් ගෙවිය යුතුවේ. මෙහිදී මොවුන්ගේ ඉල්ලීම වී තිබුනේ වසර 20ක දායක මුදල් ගෙවූ පසු වයස නොසලකා විශ‍්‍රාම වැටුප ලාංකිකයින්ට ලබා ගැනීමට මැදිහත් වන ලෙසයි. ඕනෑම අයෙකුට පැහැදිළි වන කරුණ නම් මෙය එක් එක් රටට හෝ එක් එක් පුද්ගලයාට අනුව සකස් වන දෙයක් නොව සමස්ත පද්ධතියක ක‍්‍රියාවළියක් බවයි. එසේනම් මෙය හුදු ප‍්‍රලාපයක් මිස වෙන යම් දෙයක් නොවේ. එය මෙම ගැටලූව ඉදිරිපත්කල ප්‍රේමීන්ටද අදාල බව කිව යුතුය.

තවත් යමක් එකතු කරන්නේ නම් විශ‍්‍රාම වැටුප ඉල්ලීම සඳහා පුද්ගලයෙකුට තිබිය යුතු අවම සුදුසු කම වන්නේ වසර 5ක දායක මුදල් ගෙවා තිබීමයි. එහෙත් එයද ඉල්ලීමට අවස්ථාව උදා වන්නේ විශ‍්‍රාමික වයස සම්පූර්ණ වීමෙනි. එහිදී වයස අවුරුදු 71ක් බවට පත්කිරීමට සූදානමක් පවතින අතර දැනට තිබෙන සාමාන්‍ය විශ‍්‍රාමික වයස ඉහල දැමීමටත් වැටුප පහල දැමීමටත් ද්‍රාගී ආණ්ඩව කටයුතු කරමින් සිටී. ලංකාවේ රාජපක්ෂ පාලනය වගේම ජනතාවගේ ඇස්වසා අන්දවා එය ගෙනඒමට ඉතාලි ආණ්ඩුවද සැරසෙන බව මේ දිනවල කතාබහට ලක් වෙමින් තිබේ. එනම් 100 කෝටාව නම් යෝජනාවට අනුව විශ‍්‍රාමික වයස 62ට ගෙන ඒමට උත්සහයක් දරණ බව ප‍්‍රකාෂ වන අතර බැලූ බැල්මට එය සාධනීය ලෙස පෙනුනත් අවසානයේදී වෙන්නේ විශ‍්‍රාමිකයින්ගේ අයිතිවාසිකම් පැහැර ගැනීමයි. එය ලංකාවේද ඉතාලියේද නොව නව ලිබරල් ධනවාදයේ උවමනාවයි.

යෝජිත නව විශ‍්‍රාම වැටුප් ක‍්‍රියාවළිය පිළිබඳව ඉදිරි ලිපියකින් හමුවෙමු.

තීමස් විජිත්

leave a reply