Breaking News

පෞද්ගලික රෝහල්වලට කොරෝනා පරීක්ෂණ හරහා ජනතාවගේ මුදල් පොම්ප කරන්න එපා – අන්තරේ

පෞද්ගලික රෝහල්වල පහසුකම් කොරෝනා පරීක්ෂණය සඳහා යොදාගැනීමට තීරණය කිරීම සතුටු විය යුතු කාරණයක් වූවත් එම පරීක්ෂණ නොමිලේ සිදුකළ යුතු බවත් ඒ සඳහා ජනතා මුදල් ඒ සඳහා වැය නොකළ යුතු බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. එම සංගමය පවසන්නේ මෙම අවස්ථාව පවතින තත්ත්වය හමුවේ සැලකිය යුතු ලාභ පංගුවක් අහිමිව සිටින පෞද්ගලික රෝහල් වෙත මුදල් පොම්ප කරමින් ඒවා නැවත නගා සිටුවීමට දිරි දීමක් කර නොගන්නා ලෙසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
කොරෝනා වසංගතය තවත් වේගයෙන් පැතිර යමින් තිබේ. රෝගීන් පරීක්ෂා කිරීම රෝග ව්‍යාප්තිය අවම කරගැනීමට ගත හැකි ප්‍රමුඛතම කාර්යයි. නමුත් මේ වන තුරු දිනකට අවම රෝගීන් දහසක්වත් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අංශවලට හැකියාවක් තිබුණේ නැත.

අ.වි.ශි.බ.ම ලෙස අප පෞද්ගලික රෝහල් රජයට පවරාගත යුතු බවත්, ඒවායෙහි ඇති රසායනාගාර,වාට්ටු පහසුකම් රෝගීන් පරීක්ෂා කිරීමට හා ප්‍රතිකාර කිරීමට යොදාගත යුතු බවත් යෝජනා කරමින් කොරෝනා මර්දන ජාතික කාර්යසාධක බලකාය වෙතත් ජනපති වෙතත් අවස්ථා දෙකකදී ලිපි යොමු කරමින් අවධාරණය කළේ එබැවිනි. පෞද්ගලික සෞඛ්‍ය ක්‍රමයේ ඉහළ හිණිපෙත්තටම නැග සිටි ඇමරිකාව, එංගලන්තය, ස්පාඤ්ඤය, අයර්ලන්තය වැනි රටවලට පවා වගකීම් විරහිත පෞද්ගලික රෝහල් අතැර දමා රජය මගින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සේවයක් ගැන සිතන්නට සිදුවිය. නමුත් ඒ මොහොතේ ඒ පිළිබඳ කිසිඳු තැකීමක් නොකොට නෑසූ කන්ව සිටි පාලකයන්ට අද පෞද්ගලික රෝහල්වල පහසුකම් කොරෝනා පරීක්ෂණය සඳහා යොදාගන්නා බව කියන්නට සිදු වී තිබේ. ප්‍රමාද වී හෝ එවැනි ප්‍රවේශයක් ගැනීමට සිදුවීම සතුටු විය යුතු කාරණයක් වූවත් තවදුරටත් අවධාරණය කළ යුතු කරුණු ප්‍රමාණයක් තිබේ.

පෞද්ගලික රෝහල් මගින් සිදු කරන සියලු පරීක්ෂණ නොමිලේ කළ යුතු අතර කිසිඳු ආකාරයකින් ජනතා මුදල් ඒ සඳහා වැය නොකළ යුතුය. සෞඛ්‍ය සේවය වෙළඳපොලකරණය කර ලාභ ඉපැයීමට අවකාශය සලසා දීමේ නවලිබරල් වැඩපිළිවෙළ ආණ්ඩුව එක දශමයකින් ආපස්සට ගෙන නොමැති අතර මෙම වසංගත තත්ත්වය යටතේවත් පෞද්ගලික රෝහල් රජයට පවරා නොගෙන තවදුරටත් සුරතල් කරමින් වගකීම් විරහිතව කටයුතු කරන්නට අවකාශය විවෘත කර තිබෙන්නේ ඒ නිසාය. පවතින තත්ත්වය හමුවේ සැලකිය යුතු ලාභ පංගුවක් අහිමිව සිටින පෞද්ගලික රෝහල් වෙත මුදල් පොම්ප කරමින් ඒවා නැවත නගා සිටුවීමට දිරි දීමක් ලෙස PCR පරීක්ෂණය සිදුකිරීමට ලබා දෙන්නට රජයෙන් මුදල් යෙදවීම බොහෝදුරට සිදුවීමට ඉඩ තිබෙන දෙයයි. එහෙයින් ජනතා මුදල් ඒ සඳහා භාවිතා නොකොට පෞද්ගලික රෝහල් මගින් PCR පරීක්ෂණ නොමිලේ සිදු කළ යුතු බවටත්, තවදුරටත් ප්‍රමාද නොවී පෞද්ගලික රෝහල් සම්පූර්ණයෙන් රජය යටතට ගෙන කොරෝනා රෝගීන් හඳුනාගැනීමටත් ප්‍රතිකාර කිරීමටත් යොදාගත යුතු බවත් බල කර පවසා සිටිමු.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

leave a reply