Breaking News

නව මුදල් පනත ගෙනත් තියෙන්නෙ කලු සල්ලි සුදු කරන්න – පුබුදු ජයගොඩ

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ මුදල් පනත හරහා කලු සල්ලි සුදු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ විවිධ පුද්ගලන් සතුව තිබෙන හෙළි නොකළ වත්කම් සහ රජයට නොගෙවා පැහැර හරින ලද බදු මුදල් නිත්‍යානුකුළ කරගැනීමට මෙම පනත හරහා අවස්ථාව ලබාදී ඇති බවයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“ඊයේ දවසේ මුදල් පනත සම්මත කරනු ලැබුවා. මොළ හතක් තියෙනවා කියපු බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති ලෙස වැඩ බාරගත්තට පස්සෙ ඉදිරිපත් කරපු පළවෙනි පනත ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙලා තියෙනවා. ඒ පනතේ කියන විදිහට හෙළිදරව් නොකළ වත්කම් තියෙනවනම්, ඒ වගේම රජයට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා පැහැර හැරලා තියෙනවනම් ඒක අපරාධයක්. ඒ විදිහට හෙළිනොකළ වත්කම්, නිත්‍යානුකුල නොවන වත්කම් නිත්‍යානුකූල කරගැනීමේ මාර්ගයක් මේ පනතෙන් සකස් කර තියෙනවා. ඒ වගේම රජයට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීම අපරාධයක්. එම පැහැර හරින ලද බදු මුදල් නිත්‍යානුකූල කරගැනීමේ ක්‍රමවේදයක් මේ පනතෙන් සකස් කර තියෙනවා. මේ පනතේ සඳහන් ආකාරයට හෙළි නොකළ වත්කම් හරි පැහැරහරින ලද බදු මුදල් හරි කොහෙහරි තැනක ආයෝජනය කරනවානම් ඒ සඳහා සියයට 1ක බද්දක් ගෙවීම ප්‍රමාණවත්. මේ සියයට එක කියලා කියන්නේ නිශ්චිතවම පගාවක්. මේකට නම දාන්න වෙන්නෙ පගා බද්ද කියලා. මේක පිළිබඳ අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිලි කළයුතුව තියෙනවා. මොකද මේකෙ තියෙන්නෙ නිත්‍යානුකූල නොවන වත්කම් සහ බදු මුදල් නිත්‍යානුකූල කිරීම සඳහා සියයට 1ක අල්ලසක් රජය විසින් අයකරනු ලබනවා. ඊයේ බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුව දෙවනත වෙන්න කෑ ගැහුවේ මෙවැනි දේවල් ලෝකෙ අනිත් තැන්වලත් කරනවා, මේ කරන්න යන්නෙ රටේ මුදල් හිඟය පියවගන්න කරන ආයෝජනය කියලා කිව්වා. ආයෝජනවලට සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ තියෙන අර්ථයවත් මේකට අදාළ වෙන්නෙ නැහැ. ආයෝජන කියන්නෙ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමක්. ඒ සඳහා මුදල් යෙදවීමක්. එහෙම නැතිනම් රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා වන මුදල් යෙදවීමක්. නමුත් දැන් මේ පනතේ තියෙන විදිහට මේ සඟවන ලද මුදල් කොටස් වෙළඳපොළේ කොටස් මිලදී ගන්න යෙදෙව්වොත්, බැඳුම්කර මිලදී ගැනීම සඳහා යෙදෙව්වොත්, එහෙම නැත්නම් ලංකාවේ හෝ විදේශයක ඉඩම් හෝ ගොඩනැගිලි මිලදී ගන්න යෙදෙව්වොත් මේකට අදාළ සමාව ලැබෙනවා. මේකට ආයෝජනයක් කියන්නෙ කොහොමද? මේ කොහෙන්වත් එළියෙන් එන මුදල් නෙමෙයි. නිශ්චිතවම ගත්තොත් රට ඇතුලේ තියෙනවා. අනික මේ අහසේ පා වෙවී තියෙන සල්ලි ටිකක් ගෙනත් මෙතනට දානවා නෙමෙයි. දැනටමත් මේවා කොටස් වෙළඳ පොළේ, දේපල මිලදී ගැනීම් සඳහා වගේ දේවල්වලට සංසරණය වෙමින් තමයි තියෙන්නෙ. ප්‍රශ්නේ තියෙන්නෙ ජනතාවට අවම බදු සහනයක් වත් නොදී දැවැන්ත සමාගම්වලට ධන කුවේරයන්ට මේ විදිහට බදු සහන දෙනවා. ඒක තමයි ආණ්ඩුව මේ පනත හරහා කරමින් යන්නෙ. 2015 – 2019 අතර අවුරුදු පහක කාල සීමාව කාලයේ රුපියල් කෝටි හතළිස් එක්දහස් හාරසිය පහළවක රජයට අයවිය යුතු බදු මුදලක් අයවුනේ නැති බව පවසමින් විගණකාධිපති වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. 2020 අවුරුද්දේ රුපියල් කෝටි දසදහස් පන්සියයක බදු මුදලක් රජයට අයවෙලා නැති බව පාර්ලිමේන්තු කෝප් කමිටුව වාර්තා කර තියෙනවා. මේ ගෙවුණු අවුරුදු 06ට විතරක් රුපියල් කෝටි පනස්දහසකට අධික දැවැන්ත බදු මුදලක් මේ සමාගම් රජයට වංචා කරලා තියෙනවා. ඒ වංචා කර තියෙන්නෙත් ඔවුන්ගෙන් වත්කම් හරියට පෙන්නන්නේ නැතුව ලාභය හොරට පෙන්නලා ගෙවන්න තිබුණු බදු මුදල ගෙවලත් නැහැ. කළයුතුව තිබෙන්නේ එම බදු මුදල් වහාම අයකරගෙන ජනතාවට සහන සැලසීම. ඒ වගේම මේ වසංගතය සඳහා එම මුදල් උපයෝගී කරගැනීම. ඒ වෙනුවට වසංගතය නිසා ආදායම් මාර්ග බිඳ වැටුණු මිනිස්සුන්ට අඩුම වශයෙන් ජීවන ආධාරයක් දෙන්න ඕනා. ඒ වෙනුවට දැන් මේ වංචාකරුවන්ගේ මුදල් නිත්‍යානුකූල කරන්න, කලු සල්ලි සුදු කරන්න අලුතෙන් නීති හදලා පනත් සම්මත කරමින් තියෙනවා.”

leave a reply