Breaking News

ඒ රටට කෝටිගණනින් පාඩුකළවුන්ට දිගට හරහට සහන දෙන අරුම පුදුම රටක් තියෙනවා ඕයි!

ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා…. ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩේ වෙච්ච
ඒකට මරු නමක් තියෙනවා…. ඕයි

දීපාල් සිල්වා ගයනා කරන සිංදුවේ තියෙන ආකාරයට අරුම පුදුම රටක් තියෙනවා. ඒ රටේ අරුම පුදුම සිදුවීම් ගොඩකුත් සිද්ධ වෙනවා.

ඉන් එක සිදුවීමක් තමයි හම්බන්තොට මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම තුළින් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකු නිදහස් කිරීම. එයට හේතුව ලෙස සඳහන් වන්නේ මෙම නඩුවට පාදකවූ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවට වැය වූ සියලු මුදල් 2017 ජුලි මස 13වන දින වනවිට ඩී. ඒ. රාජපක්ෂ පදනම විසින් ගෙවා ඇති බව සඳහන් වීමයි.

මෙලෙස පසුගියදා නිදහස් වූවේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු පිරිසකි.

ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නඩුව කැඳවූ පළමු අවස්ථාව වන නොවැම්බර් 21 වැනිදා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. ඒ් අනුව ගෝඨාභය රාජපක්ෂ පළමු විත්තිකරු නිදහස් කිරීමට ත්‍රිපුද්ගල අධිකරණය තීන්දු කරන ලදී.

මෙම නඩුවට පාදක වූයේ 2005-2015 කාලය තුළ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව අයත් වූ රේඛීය අමාත්‍යංශය ලෙස, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වගකීම යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් දැනුවත්ව අන් නිලධාරින් සමග රජයේ මුදල් අවභාවිත කරමින් රාජපක්ෂ මවුපිය යුවළ වෙනුවෙන් කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කළ බවට මතු වූ නඩු නිමිත්තකි.
යහපාලන ආණ්ඩුව සමයේ නඩුව පවරන ලද අවස්ථාවේදී විත්තිකරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍යංශ ලෙකම්වරයකු වූ අතර ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ එවකට නිලධාරින් සෙසු විත්තිකරුවන් බවට පත් විය.

දැන් සියලු දෙනා නිදොස් කොට නිදහස් වී තිබේ. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනා එල්ල වූ විත්තිකරුවන්ට එම අවභාවිතා කළ මුදල් ගෙවා නිදහස් විය හැකිය. නැතිනම් එම විත්තිකරුවෙකු ජනාධිපති වූ පසු නිදහස් විය හැක. මේ රට අරුම පුදුම රටක් කීවේ ඒ නිසාවෙනි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

මේ අරුම පුදුම රටේ සිදුවූ තවත් එවැනිම සිදුවීමක් වන්නේ වසර ගණනාවක් බදු ගෙවීම පැහැර හැරීම නිසා බලපත්‍රය අහෝසි කරුණු සමාගමකට සිය කටයුතු නැවත සිදුකරගෙන යාමට අවසර දීමයි. එම අවසරය ලබාදෙන්නේ නිකම්ම නිකම් නොවේ. බදු සහනයකුත් සමඟයි. එම බදු සහනය වන්නේ අදාළ සමාගමට පැහැර හරින ලද බදු මුදල් වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදීමයි.

මේ පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් සුරාබදු කොමසාරිවරයා පවසා ඇත්තේ වසර ගණනාවක් බදු නොගෙවීම හේතුවෙන් තහනම් සමාගමක් බවට මෙම සමාගම පත්කර තැබීම හේතුවෙන් රජයට අතිවිශාල පාඩුවක් සිදුවූ බවයි. එහෙත් බදු නොගෙවූ සමාගමක් තහනම් කිරීමෙන් රජයට සිදුවූ අමුතු පාඩුව කොමසාරිස්වරයා පැහැදිලි කර නැත.

මෙහි ඇති තවත් රසවත් තොරතුරක් වන්නේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙක් වූ අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, 2011 වසරේ දී ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමද මිලට ගෙන තිබුණි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට පත් වීමෙන් පසුව මෙන්ඩිස් සමාගම වසර දහයක කාලයක් සදහා වෙනත් සමාගමක් වෙත ඔහු විසින් පවරා දෙන ලදී. නැවත එම සමාගම ඔහු විසින් ලබාගෙන ඇති බව පැවසේ.

බැඳුම්කර වංචාව හරහා රජයට අතිවිශාල පාඩුවක් සිදුකරන ලද පුද්ගලයන්ට මේ අරුම පුදුම රට සළකන්නේ අන්න ඒ ආකාරයෙනි. මෙය ගොඩක්ම අරුම පුදුම වන්නේ ඒ නිසාවෙනි.

leave a reply