සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස හරහා ලබාදීමට නියමිත සහන මල්ල තුළ සමපෝෂ පැකට් දෙකක් ද අඩංගුව ඇති බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ පැවසීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිව තිබේ.
එයට හේතුව දැනට සතොස සභාපති සමිත පෙරේරා සමපෝෂ නිෂ්පාදනය කරන Ceylon Biscuits Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරයා ලෙස මිට පෙර කටයුතු කර තිබීමයි.
මේ අනුව මේ හරහා ලබැදියාවන් අතර ගැටුමක් ඇතිවන බව බොහෝ දෙනෙකුගේ චෝදනාවයි. විශේෂයෙන් ත්‍රීපෝෂ සමාගම හරහා අලෙවි කිරීම සඳහා සුපෝෂ නිෂ්පාදනය කරන තත්ත්වයක් තුළ එය මිලදී නොගෙන රජයේ බදු මුදල් යොදවා සමපෝෂ මිලදී ගැනීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.
වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙම සහන මල්ල සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 1000 සිට රුපියල් මිලියන 1500 දක්වා වැඩිකළ බවයි.
එසේම ඇමතිවරයා පවසන්නේ ලංකා සතොස ආයතනයෙන් මේ බඩු මල්ල සඳහා බඩු ලබාගැනීමේදී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළ බවයි. එසේනම් දැනට සතොස සභාපතීත්වය දරන සමිත පෙරේරා මීට පෙර රැකියාව කළ සිලෝන් බිස්කට් සමාගමට සමපෝෂ ටෙන්ඩර් ලබාදීම ගැන එල්ලවන චෝදනා අහම්බයක් ලෙස සිතා බැහැර කළ නොහැක.