මෙම ලිපිය ලිවීමට හේතු වුයේ , මාගේ විශ්ව විද්‍යාල මිතුරෙක් වූ , අචාර්ය අතුලසිරි සමරකෝන් විසින් සමාජ මාධ්යේ ප්‍රකාශ කරන ලද කියවීමක් වෙත විකල්ප ධාරා නියෝජනය කරනු ලබන පිරිමි විසින් ලබාදුන් පිළිතුරු නිරීක්ෂණයෙන් පසුවය. පැහැදිලිවම කිව යුතු කරුණ නම්, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින වාර්ගිකවාදී ආණ්ඩුව විසින් පවත්වාගනු ලබන්නේ පරපිඩක ආණ්ඩු ව්‍යුහයකි. එය සුළුජාතිකත්වය මෙන්ම ශ්‍රමය හැරුණු කොට වෙනත් යැපුම් මාධ්‍යක් නොමැති සියලුම ප්‍රජාව මර්ධනයට ලක් කරමින් සිටින අතර මහජන මුදල් අතිවිශාල ලෙස අපහරණය කරමින් ද ප්‍රජාතන්ත්‍රවාදය මරාදමමින් ද කටයුතු කරමින් සිටි. එවැනි ආණ්ඩුවක් වෙත ස්ත්‍රියක් ලෙස මා තුල පවතින්නේ දැඩි විවේචනයකි . එසේම එලෙස වන කිසිදු විවේචනයකට මගේ විරුද්ධත්වයක් ද නොමැත. එහෙත් , ස්ත්‍රි විඤ්ඤාණය අසන ප්‍රශ්නයක් වේ , එනම් ස’තමා හොඳටම කරේ යන දේශපාලනික උත්ප්‍රාසය ප්‍රවර්ධනය කරන , පිරිමි (මුලිකව ම ටෝයියෝ ) ස්ත්‍රීන් ගේ දේශපාලනයට විරුද්ධ වන්නේ ඇයි? එම විරෝධය යනුම , රාජපක්ෂවරු හැර විකල්පයක් නොමැත යනෙනෙහිම දිගුවක් වන “විකල්ප ධාරාවේ පිරිමි තමයි ප්‍රකෘතියේ එකම නියෝජනය ” ලෙස ස්ත්‍රීන් වෙත බාරගැනීමට බල කර සිටීමක් නොවේද ?.
ලිබරල්වාදී ප්‍රවාහය හරහා ආරම්භවන ශ්‍රී ලංකා වේ ස්ත්‍රීන් ගේ දේශපාලනික ආගමනය පිලිබඳ විවිධ විවේචන වේ. නමුත් එම විවේචන ස්ත්‍රී දේශපාලනය ට පමණක් සිමා නොවේ. නිදසුනක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක ලොව ප්‍රථම අගමැතිනිය ලෙස පත්වන්නේ , එස්.ඩබ් ලිව් . ආර් .ඩි . බණ්ඩාරනායකාගේ බිරිඳ ලෙස වුවත්, එම අවදිය සැලකු විට ස්ත්‍රීන් ප්‍රමුඛ ව සිදුකරමින් සිටියේ දරුවන් නැලවීම පමණය . සාමාජවාදී රාමුව හරහාද ස්ත්‍රීන් එලියට විත් තුබුණු අතර , ලංකා සම සමාජ පක්ෂය දියත් කළ වැඩ වර්ජනයන් හි රතු හමුදා ඇඳුමෙන් සැරසී ඉදිරිපෙළේ විරෝධතා වෙත එක් වූ ස්ත්‍රීන් ද දැකිය හැකිවිය. එහෙත් ආණ්ඩුකරන බලය ලබාගැනීමේ දී සිරිමාවෝ යනු වැදගත් දේශපාලනික නිමිත්තක් බවට ස්ත්‍රියක් ලෙස මම දකිමි . මක් නිසාද යත් , දෘඩ ඉඩම්හිමි පිතෘ මුලික සමාජානුයෝජනයක් යටතේ ඉපිද , ජිවත් වූ ස්ත්‍රියක් , ආණ්ඩුකරණ ආයතනයක් වෙත වන ආගමනය විශාල දේශපාලනික සිදුවීමකි. පිතෘ මුලික ක්‍රමය තුල , දරුවන් වදා , රැකීම යන මුල්‍ය හිමිකමක් නොමැති ශ්‍රමයේ හිමිකාරිත්ව කාන්තාවක්ව, වර්තමානයේ මෙන්, ස්ත්‍රීන් දේශපාලනයට සහභාගිවීම සාමන්‍ය නොවූ පරිසයක දී , ප්‍රථම අගමැතිනිය ලෙස ඇයගේ දේශපාලනික සහභාගිත්වය මම ලඝු කර නොතකමි .
ලිබරල් රාජ්‍ය ප්‍රතිසංස්කරණය හරහා ස්ත්‍රීන් ගේ දේශපාලන සහභාගිත්වය යම් දුරකට ප්‍රවර්ධනය වන විට, වාමාංශික ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී නියෝජනය ට කලේ කුමක්ද ? විශේෂයෙන්ම වාමාංශික පක්ෂ නියෝජනය කරමින් , පාර්ලිමේන්තුව සහ පොදු අවකාශයේ ඥාන සම්පාදනයට දායක වූ ශ්‍රී ලාංකික සම්බවයක් නොමැති ස්ත්‍රීන් ට සිදුවුයේ කුමක්ද ?
Doreen Young (Doreen Wickremasinghe), Edith Gyomroi (Edith Ludowyk), Hedi Simon (Hedi Keuneman), Maud Rogerson (Maud Keuneman) and Jeanne Hoban (Jeanne Moonasinghe) යන්නදී වාමාංශික ව්‍යපාරයේ සිටි ස්ත්‍රීන් , ඒ වන විට පිතෘ මුලික ධනේශ්වර පංතිය විසින් ගොඩනගමින් තිබු දේශීයත්ව ආණ්ඩුකරණ දේශපාලන ධාරාව හරහා දේශපාලනික ආන්තිකරණයට ලක්විය. නිදසුනක් ලෙස , කුමාරි ජයවර්ධන ( The White Woman’s Other Burden, 1995,) පවසන්නේ Edith Ludowyk විසින් ලංකා සම සමාජ පක්ෂ ඉංග්‍රීසි මාධ්‍ය දේශපාලනික ප්‍රකාශනයන් වෙත කරන ලද ශ්‍රම දායකත්වය ප්‍රකාශයට පත් නොකරන ලදී (පුල්සරා ලියනගේ ද මේ පිලිබඳ ව Women in Politics in Sri Lanka: the Left Movement හි ලියා තිබේ).
1960-1970 දශයේ දී ආරම්භව , විකාශනය වන රැඩිකල් වාමාංශික ව්‍යාපාර තුලද ස්ත්‍රිය ගේ ශ්‍රම දායකත්වය පිලිබඳ කිසිදු සඳහක් නොකරයි. පුල්සරා ලියනගේ පෙන්වාදෙන්නේ, 1971 ජනතා විමුක්ති ව්‍යපාරයේ දේශපාලන බල මණ්ඩලය තුල එක ස්ත්‍රී නියෝජනයක් පමණක් වූ අතර , 1980 දශකයේ දී , එවැනි නියෝජනයක් වත් එහි නොවූ බවය. මගේ නිරීක්ෂණය නම් , 1980 වන විට ජනතා විමුක්ති ව්‍යපාරය පිතෘ මුලික , වාර්ගික කේන්ද්‍රයක් මිස සමාජවාදී නියෝජනයක් නොවූ බවය. ඒ හේතුවෙන්, ස්ත්‍රීය මෙන්ම දෙමළා ද (නෛමිත්තික සිංහල නොවන ජනවර්ග පිලිබඳ ) දේශපාලන සංවාදයෙන් මුලින්ම වෙන්වී තිබුණි.
මේ ගෙවෙන මොහොතේ ද ස්ත්‍රී ප්‍රශ්නය වෙනුවෙන් වාමාංශික ව්‍යපාරය දක්වන ප්‍රතිචාර මා සමාන කරනුයේ ලංකාවේ ජාතික ගැටලුව වෙත දක්වන ප්‍රතිචාරයට ය . එනම් විමුක්තිය ලබාගැනීමේ සංවාදය වාමාංශික පිතෘ මුලිකයන් විසින් පවත්වන අතර , එහි ශ්‍රාවක පිරිස වී සාධු නාද දීමේ ස්ථානය ස්ත්‍රීන් ට වෙන්කර තිබේ. ලිබරල් ආකෘතිය තුල , ස්ත්‍රීන් ට එදිරි පිතෘ මුලික බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාව හෝ මෙම වාමාංශික ව්‍යාපාර තුල නොමැත. එවිට එම ව්‍යාපාර වාමාංශික හෝ විකල්ප ව්‍යපාර ලෙස නොව ගෝටා ආකෘතියේම ෆැසිස්ට්වාදී ව්‍යපාර ලෙස මම හදුන්වමි.
ලිපිය අවසන් කිරීමට මා Sheila Rowbotham ගේ Women’s Consciousness , Man’s World (1973) හි පහත උපුටාගැනීම යෝදාගමි .
“අපේක්ෂාව අහිමි පීඩිතයා පුදුමාකාර ලෙස නිහඬය . වෙනස්කිරීමේ විකල්පනය සිමාවිරහිතව එපිටට ගොස් තිබෙන විට , අතෘප්තිය ප්‍රකාශ කරණ භාෂා සන්ධි ගැලපීමක් ද නොමැති විට, පැවතීම වෙත තව දුරටත් රැඳී නොසිටි. මෙම වැරදි වැටහීම බිඳ වැටෙන්නේ එම නිහඬතාවය කඩාබිඳ දමන විටය ” (අනුවාදනයකි ; පිටුව 29)|