ඔමේෂ් ෂෙහාන් දහනායක (වෛද්‍ය පීඨය – පේරාදෙණිය විශ්ව විද්‍යාලය)ගේ ගැටඹේ අහස යට කාව්‍ය සංග්‍රහය සත්‍ය ලෝකයෙහි යම් සංසිද්ධියක්, හදවතෙහි ඇඳි හැඟීමක්, සවනෙහි රැඳුණු හෝ දෑසෙහි සටහන් වූ යම් රූපරාමු පෙළක් නිර්මාණාත්මකව සමාජගත වන්නා වූ නිමැවු කවිය ලෙස දකිනු කැමැත්තෙමි. එකී කාර්යයෙහි අවසාන ඵලය සමස්ත සමාජය වෙත නිර්මාණය කරන කවියෙක් ලෙස දකිනු රිසි.
යම් වස්තු විෂයක් තවත් කෙනෙකුන් දකින්නා වූ දෘෂ්ඨි කෝණයට වඩා වෙනයම්ම වූ කෝණයක් නිර්මාණය කරමින් රස වෑහෙන ඇසකින් දකින්නට හැකියි නම් ඒ ඇසින් දුටු සංසිද්ධිය කඩදහියක් මත කාබන් තුඩකින් ලියැවෙනුයේ සුවිශිෂ්ඨ නිර්මාණයක් ලෙසයි. ඒ සඳහා ප්‍රවීණ මෙන්ම වියත් වාග් කෝෂ්ඨයක් තිබීම සුවිශේෂි වන්නේය… කාව්‍ය කරණයේදි බස හැසිරවීම කෙරෙහි අවධානය යොමුකිරීම ඉතා වැදගත් වන්නේය. යොදාගන්නා වචන සමූහය එකිනෙක වූ සබැඳියාවක් දකින්නට හැකියි නම් නිර්මාණය රසවින්ඳනයේදී එය වඩාත් මිහිරි වනු ඇත. සමූහයක් කාරණා අතර මාත්‍රාව කෙරෙහිද කවියා තම අවධානය හෙළිය යුතුය.
” සෙත් සිරි දෙන මහගුණ මුහු දා නන්
සත් හට වන බව දුකට වෙදා නන් “
පැහැදිලිවම හා නිශ්චය වශයෙන් ලෝවැඩ සඟරාවේ අපට හමුවන නිදසුනකි එය. කවි පෙළ පුරාම අවස්ථාවක් දෙකක් හැරෙන්නට කවියා මාත්‍රාව පිළිබඳ ඉතා හොඳ බැල්මක් යොදාගෙන කළ නිර්මාණයක් සේ එය සඳහන් කිරීම වඩා උචිතම වන්නේය.
සිත්තරෙකු තම දක්ෂතා සමාජගත කරන්නා වූ හස්තය චිත්‍රය වන්නා සේම කවියා තම හැඟීම් සමාජය හා මුහු කරන්නේ කවියෙනි. එය වඩා රසවත් මෙන්ම අර්ථවත් ව සිදු කරන්නට කවි කිවිඳියන් නොපසුබටව හැම වීර්යයක්ම දරයි. කාව්‍ය රීති කෙරෙහි අවධානය යොමු කරමින් එළිසමයත්, මාත්‍රා ගැළපුමත්, රූපක භාවිතයත් , වචනවල අර්ථාන්විත බවත් ඒ අතර වැදගත් කොටස් යැයි විශ්වාසය තබමි.
” අඳුර හරි බරි ගැසී ගිලගත්ත සිව් කොනක්
අතරමං කර තිබේ ගිනිගත්ත හදවතක්
සති අගේ රෑ යමට පුදමි මා මල් මිටක්
තනි වෙච්ච හිත ළඟට එනවාද එක රැයක්
හැම විටෙක නුඹ මවෙත නොමියෙනා කවියක්
ඉඳහිටක ඇද හැලෙන සීත පිණි වැස්සක්
හිත පුරා පිපී ඇති ඉඳලෝලු හත්තක්
ආලයත් නුඹේ ළඟ නොමේරූ දරුවෙක් “
( ආලයේ බැමි )
තවත් නිදසුනක් ලෙස,
පුර හඳ මඬල ඉකි බිඳ බිඳ වැලපෙද්දී
මල්වර කුසුම් පෙති හකුළා මැලවෙද්දී
පත් ඉරු අතැරදා පන්හිඳ සැතපෙද්දී
සැනසුම සොයා යමි මළ හිරු සැතපෙද්දී
(හැරගිය පෙම්වතිය වෙත)
කවිය තුළ අලංකාර වු පද නිමාවන් දැකගත හැකියි. එළිසමය පිහිටුවීම කවියට වඩාත් අර්ථවත් ව සිදුකරන්නට කතුවරයා සමත්ව තිබේ.
කවි ගොන්න තුළ කවියා සෑම නිර්මාණයක් උදෙසාම ඒකාකාර වූ රටාවක් පවත්වාගන්නේ ද නැත. ඇතැම් අවස්ථාවලදි කවියා තම අරමුණ ජයගැනීම වඩා සාර්ථක කර ගැනීමේ අටියෙන් රාමුවෙන් පිට පැන නිදහසේ කාව්‍ය කරණය සිදුකර ඇති බව දක්නට ලැබෙයි. රාමුගත කාරණා මදකට මතකයෙන් දුරු කොට වචන රිසි සේ හසුරුවා ඇති ආකාරයත් ඉන් කවියට ගෙන ඇති රසවින්දනය මිහිරි ය. නිදහස් ය.
“තත්පරෙත් කප්පරක් වගේ දැනෙන
එනකල් හති ඇරන් බලන් උන්නත්
නොඑන විට කෑ ගසා හඬන්නට හිතෙන
එක් වරක් දෙවරක් එහා මෙහා කැරකෙමින්
බිම තබා තළන්නට හිතෙන
‘ඉන්කමින්’ ලයිට් එළියක්
දැක්ක සැණෙකින් බදාගෙන ඉඹින
අපෙ කාලේ ඉකිය “
(කෝල්)
වර්තමානයහි ප්‍රේමය ගැටගසන්නාවූ බලවත්ම මෙවලම දුරකතනය යැයි කීම කවුරුත් මතභේද ගොඩනගන්නට තරම් අරුත් විරහිත බව විශ්වාස නොකරමි. දුරාතීතය හසුනකින් සිදු කළ ගණුදෙනු වත්මනෙහි ඇමතුමක්, කෙටි පණිවිඩයක් දක්වා විතැන් වී ඇති අන්දම කවියා දකින්නේ බොහෝ අපූරු නිර්මාණාත්මක ලීලාවකිනි. ඒ වචන සමූහය තුළ ගැබ් කර ඇති වර්තමානය බහුතරයකගේ හෘදසාක්ෂි කෙරෙහි දැඩිව අමතකයි. එය නොරහසක්. කවිය තුළදී මතක ස්මරණ කිරීමට සමත්කම් දක්වයි. දුරකථනයකට ඇමතුමක් පෙම්වතාගෙන් හෝ පෙම්වතියකගෙන් ලැබෙන සිදුවීම රසවත්ව පවසන්නට කවියා කෙතරම් දක්ෂ වීද යන්න කවිය තුළ ම අන්තර්ගතය.
” ආයුර්වේද දඩබ්බර පපු කූඩු අස්සට
ස්නේහක යොදා සීහුම් කරන
සියුමැලි අත්
රළු කරන් සිත්
දුටු සැණින් දෑසට
මොණර කොළ විසිවෙන
ෆීලිං ගෙනැත් දෙයි
තෙත් වෙන්න ළං වෙච්ච
හිරි අරින මස්ගොබ වලට
මේ කියන්නෙ සිව් කොනක් ගැන
මස් ගොබත් වමාරන
ඒත් නීතියට සම්මත “
(ආයුර්වේදික් ස්පා…)
රහසේ පවතිනා සමාජ සත්‍යයන් හරි සූක්ෂමව සමාජ ගත කර ඇති අන්දම ප්‍රශංසනීයයි. කවි කෘතියක හුදෙක්ම පැවතිය යුත්තේ සිහින ලෝකයන් නොවේ . කවියෙකු නිරන්තරයෙන්ම මහපොළොවෙහි සිටගත් අයෙකු වන්නේ නම් වඩා විශිෂ්ඨය. මේ කෘතියෙහි බොහෝ කාව්‍ය නිර්මාණ වලින් ඒ බව හැඟෙන බව කිවයුතු වන්නේමය. ඒ නිර්මාණ අතරින් එකක් ලෙස මෙය දක්වනු කැමතිය. කවියා සමාජ ගත වන තරමටම සමාජය හා ගැටෙන තරමටම ඔහුගේ කාව්‍යකරණයන් මිනිස් සිත් කෙරෙහි ඇලෙන සුළු වන්නේය. ඔහු මැටි පැළක සිට සත්මහල් ප්‍රාසාද දක්වා සෑම මනුශ්‍ය ආත්මයකම දුක, කඳුළ, සතුට, වේදනාවන් වෙන්වෙන්ව වෙනස්කම් සහිතව දැකගත හැකි අයෙකු වියයුතුය. ඒ බව ඉහත කවිය නිදසුනක් සේ දකිමි .
” සියුමැලි අත් “, ” රළු කරන් සිත්”, ” දඩබ්බර පපු කූඩු අස්සට”… මේ වචන වල මතුපිටින් දකිනවාට වඩා ඉතා ගැඹුරක් දකිමි. සුදුසු වාග් මාලාවන් සුදුසුම තැන බලා හොඳම අයුරින් යොදා ඇති අන්දම සිත් ගන්නා සුළුයි. සහ ඉන් කියවන්නාගේ හදවත තුළ නිර්මාණය කරන්නට ගත් සංවේගයත්, සමාජයේ උපහාසයත් ආදී වූ තවත් හැඟීම් කියවන්නාට අඩු වැඩි අයුරින් බෙදා හදා ගැනීමට අවස්ථාව පවතී… සමාජ ආර්ථික මය යම් යම් කාරණාද ඉන් ඉස්මතු කර ගන්නට පාඨකයෙකුට සිත් වේ නම් එයද වරදකැයි නොසිතමි.
“ආරංචියක් ආවා පොඩ්ඩී
හිත නරක් කරගන්න කාරි නෑ
තුන්වෙනි පන්තියේ හතරක්
මැරිලලු නොවැ පහළට වැටිලා
ඇඬුවලු සෑහෙන්න රජරටින් රැජිනත්
උඩරටින් පුංචි මැණිකෙත්
අහසේ වැහි පරයන්න
විලාපෙ ඇහුණද නුඹටත්
ඒ පුංචි උං ගිහිං පා පුවරුවෙ
මක් කරන්නද පොඩ්ඩියෙ
උඩරටින් මැණිකෙලාගෙ
රජරටින් රැජිණලාගෙ
සුව පහසු පළමු පන්තියෙ
යන්න කොහිද වාසනාවක්
අපේ පන්තියෙ උංට “
(දිරාගිය පන්ති)
එතෙක් මෙතෙක් කලක පටං නොව ඇරඹුමේ දී පටන් ම පවත්නා ඛේදාන්විත සමාජ කාරණාවක් ලෙස පන්ති භේදය දක්නට හැක . සමාජය තුළ ගොඩ නැගී ඇති ධනවාදය මුල්කරගත් පනත් බෙදීම් කිහිපය මැද පිඩිතයා හැමදාම නියෝජනය කළේ නිර්ධන පන්තියයි. තවමත් එදා දේම මුල් බැසගත් නොවෙනස් වන පන්ති බෙදුම ගම්‍ය කරන්නාවූ කාව්‍ය වෑයමක් සේ දිරාගිය පන්ති හඳුන්වමි. ධනපති පන්ති නොදුටු දුගියාගේ දිළිඳු බව, දිවිරැක ගැන්මේ යොදනා මහත් විරිය, දහඩිය කඳුළ කැටිකළ අදහස් මාලාවක ගෙතුමක් සේ නිර්මාණය සඳහන් කළ හැකිය. ඔහු වර්තමානය ත් අතීතයත් මෙන්ම නොවෙනස් වෙතැයි සිතනා අනාගතයත් යන තුන්කාලයම එකතැනක තබා තම නැණ පමණින් අතීතයන් සිහිගන්වා ගන්නට අවස්ථාව ගෙනදී ඇත.
ප්‍රේමය සහ විරහව අතර නෑකම ශක්තිමත් වූවද ප්‍රේමයට ප්‍රේම කරන්නෝ කිසි විටක විරහවට ප්‍රේම කරත්ද ?.. හෘහයෙහි මතුවන්නා වූ සෙනෙහස වූ කලී එය මාතෘ – දාරක ප්‍රේමයන්, පීතෘ දාරක ස්නේහයන් මෙන්ම විරුද්ධ ලිංගිකයන් අතර ආකර්ශණයෙන් ඇතිවන්නා වූ සම්මතවාදී ප්‍රේමයන්ද වන්නේය. පෙම්වතුන් පෙම්වතියන්
ලෙස හදවතෙහි නිැ්ර්මාණය වන්නාවූ ආදරය යන ගෞරවනීය හා පවිත්‍ර චින්ත හැඟීම ඉතාමත් ආනන්දනීය වන්නේය. ප්‍රේමයේ ප්‍රහශනය ප්‍රේමයක් ශක්තිමත්ව බොහෝ කළක් නොසිඳී පැවතීම කෙරෙහි සාධනීය කාර්යයක් ඉටුකරනු ලබයි.
යම් මොහොකක ප්‍රේමයේ බිඳුමක් එසෙත් නොමැති නම් වියෝවක් තුළින් ජනිත වන්නා වූ සංවේගකර වූත් වේදනා බර වූත් හැඟීම් සමුදාය පුද්ගල චිත්ත සන්තානයන් අඩු වැඩි වශයෙන් රිදවන්නටත් අපේක්ෂා භංගත්වයට පත්කරන්නටත් තරම් ශක්තිමත් ය.
” සංසාරයේ දවසක
කුරුළු යුවළකට නව
කරදර දුන්නු වරදට
හිත් අහස යට අද
මට නුඹ හිමි නැතිව ඇත
හිත් අස්සෙ ළතැවෙන
පෙම් සසුම් කැළතෙන
අවැසි මුත් නළල සිඹ පවසන්න
නොහැක අද මේ අහස යට
අපට අප උරුම නැති වග
දැන දැනත් පෙම් කරමි
ම සිත තනිවම “
( අසම්මත වූ සම්මතය )
ප්‍රේමයේ වියෝ වූවෝ වේදනා විඳිත්.
” හැමදාම නැතත් ඉඳහිට
ගැටඹේ බෝ හෙවණට
පිය මැන්නෙ හවසට
හිත මටම බර දවසට
රොතු පිටින් ඇදෙන හුළඟක්
බෝ පත් වෙන් කළා දෙපසට
දෙපසට වෙන් වෙච්ච දුකටම
සිළි සිළිය ඉපදුනේ ඉකියට
හඳ එළිය වැළලිච්ච පොළොවම
තෙත්වෙලා මහවලියෙ සුවඳට
හිත් අස්සෙ හංඟාපු බණ පද
විසිවුණා හදවතින් නොදැනීම
හීනියට වහින වැස්සට
දඩබ්බර හිත් පෙඟුමයි ලස්සන
මොළොක් වුණු හදවත් ඔක්කොම
ඉඟි කළා ගැටඹෙ අහසට !… “
කායික මානසික සුවය පතා බොහෝ සෙත් කර්ම කරනා බව සත්‍යයකි. භෞතිකව ගිළන් මෙන්ම ගිලන් හදවත්ද ඔසු වලින් සුවපත් කරන්නට පිළිවන. ගිලන් හදවත් මානසික සුවයක් ගෙනදීමෙන්ද වඩා සාර්ථක සුවයක් ගෙනදී නීරෝගී කළ හැකිය. එය ප්‍රත්‍යක්ෂ ය. කවිය පිළිබඳ අදහස් දැක්වීමෙහි ලා තෝරාගත් අවසාන කාව්‍ය නිර්මාණය ය ” ගැටඹේ අහස ” ය. විරහවක හිමිකරුවෙකු කවියේ මුල සිට අග දක්වාම ගම්‍ය වන බව සැක හැර ඕනෑම අයෙකුට ගළපා ගත හැකි කරුණකි. වඩා වැදගත් කරුණ එය ලෙස දකින්නට ලඝු වීම සාධාරණිකරණය කළ නොහැකි යැයි විශ්වාස කරමි. ඇතැම් බහුතරයක්ම වූ කාව්‍ය පේළි වල ඇත්තේ දිර්ඝ ගැඹුරු අරුත් ගෙන දීම් ය.
” දෙපසට වෙන් වෙච්ච දුකටම
සිළි සිළි ය ඉපදුනේ ඉකියට “
පවනට බෝපත් ළෙලදීමත් ඉන් නැගෙනා සියුම් හඬත් කවියා ගළපන්නේ වියෝවකින් නැගෙනා වේදනාවක් උදේසා වූ මොරගසා හඬනා ඉකිබිඳුමක් ලෙසයි. බොහෝ කවියන් හද සනසන්නට එකහෙළා යොදා ගන්නා බෝ පත් හඬ තුළ ගැටඹේ කෘතිය පවසන්නේ එය වේදනාත්මක දෝංකාරයක් ලෙසයි.
” හිත් අස්සෙ හංඟාපු බණ පද
විසිවුණා හදවතින් නොදැනිම “
යමෙක් මෙය විවිධාකාරයෙන් දකින්නට ඉඩ ඇති. චතුරාර්ය සත්‍යයත් අටලෝ දහමත් සියුම්ව වචන කිහිපයක් තුළින් ස්පර්ශ කළා යැයි සවිඥානිකව දැකීම වඩා උචිත රාමුව ලෙස විශ්වාස කරමි. දරාගත නොහී තැනකදි ශෝකය පිට කරන්නා වූ පොදු මානව ධර්මතාවය වූ කඳුළ අවසන් ඵලය ලෙස හෙළනා අදහසක් දැරීම රසයෙහි ගැඹුරට ගමන් කිරීමකදි මුණගැහුණු බව දක්වනු කැමැත්තෙමි. වඩාත් රසවත් මෙන්ම කවියක් තුළින් දැනවිය හැකි උපරිමයකට ගෙන ගොස් ඇති බව සැක හැර සඳහන් කළ යුතුමය…!