Breaking News

බොර දිය පෑදි දිය බවට පත් වෙනවා වගේ. කවි තියෙන්නේ බොර දියේ

සිංහල භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙනුත් සාහිත්‍යකරණයේ යෙදෙන උදය අර් තෙන්නකෝන් විප්‍රවාසී ජීවිතයක් ගත කරන ලේඛකයෙකි. ඔහු අතින් ලියැවුණු සිංහල ඉංග්‍රීසි සාහිත්‍ය ග්‍රන්ථ ලේඛනය තරමක් දිගු එකකි. ඒ මොනවාදැයි ඔබට හඳුනා ගැනීම සඳහා පහත එම ලේඛනය අමුණා තබමු.

මෑතකදී ඔහු ජනගත කළ හයිකු කවි සහ කෙටි කවි සම්ප්‍රදායට අයත් කාව්‍ය සංග්‍රහ දෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ කිරීම සුවිශේෂී කරුණකි . එක් ග්‍රන්ථයක් හයිකු සම්පදායේ කාව්‍ය එකතුවකි. භාෂා තුනකින් ඉදිරිපත් කරන අනිත් ග්‍රන්ථය හයිකු ආභාෂයෙන් බිහි වූ කෙටි කවි එකතුවකි.

අප මේ සූදානම් වන්නේ ඔහුගේ මේ කාව්‍යමය ව්‍යායාමය කා වෙනුවෙන් කුමක් සඳහා මෙහෙයවන්නේ ද යන්න පිළිබඳව යම් පැහැදිලි කර ගැනීමක් කිරීමටයි.

  • ස්විස්ටර්ලන්තයේ විප්‍රවාසී ජීවිතයක් ගත කරන ඔබ,දැන් කවි ලියන්නෙ කාටද ?

ඔබ අහන ප්‍රශ්නයට සෘජුව උත්තරයක් දෙන්න පුළුවන් ද කියන සංකීරණබව මේ ප්‍රශ්නය ඇතුළෙම අඩංගු වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයේ ඇති අර්ථ ඇතුළෙන්ම පිළිතුරක් හොයා ගන්න පුළුවන් ද කියලා බලමු.

“දැන් කවි ලියන්නේ කාට ද” කියලා අහනකොට හැඟවෙන දේ තමයි, මීට කලින් කාට හරි ලියලා තියෙනවා, නමුත් ඒ කාට හරි ලියපු කවි වෙනුවට තවත් කාට හරි ලියනවද කියන ප්‍රශ්නය. එහෙම අහන්න වෙන හේතුව ප්‍රශ්නයේ මුල් කොටසේ තියෙනවා. ඒ කියන්නේ මම විප්‍රවාසීව ජීවත් වෙනවා කියන කාරණය. මේ නිසාම තමයි අර ප්‍රශ්නය අහන්නේ කියලයි මට හිතෙන්නේ.

රටෙන් පිට වෙන්න කලින් කවි ලිව්වා. මතකය නිවැරදි නම් අසූවේ දශකයේ අග භාගයේ හෝ අනුවේ මුල් කාලයේ කවි ලියන්න ගත්තා. දැන් වගේ නෙවෙයි පත්තරයක කවියක් පල වෙනවා කියන එක මාර දෙයක්. මට මතකයි පත්තරයකට කියලා ලියපු පළමු කවියම ලංකාදීප ඉරිදා පත්තරේ පල වුණා. ඒකට සිතුවමකුත් එක්කම. “කොටුවීම” කියන මාතෘකාව. රිමාන්ඩ් කූඩුවක හිරගත වී හිටපු අවස්ථාවක් සිහිපත් කරන කවියක්. මට හිතෙන්නේ ඒ කවිය පල කරන්න තෝරන්න ගන්න ඇත්තේ ඒ අත්දැකීමේ ඇති සුවිශේෂිත්වය වෙන්න පුලුවන්.

ඊට පස්සේ පත්තරවලට කවි ලියන්න මට උත්තේජනයක් ආවා. දිගින් දිගටම ලියන්න ගත්තා. ඒක අනන්‍යතාවක් හොයාගෙන යෑමක්. නමුත් ලියන තරමට හැම එකක්ම පළ වුණේ නෑ. ඒත් කවි ලියන එක පුරුද්දක් වුණා. මට කියන්න ඕන දේ තමයි, ඔබ අහන “කාටද ලියන්නේ” කියන කාරණයට දෙන උත්තරය ගැන කල්පනා කළොත් කියන්න තනි උත්තරයක් තියෙනව ද කියන එක “මම ලියන්නේ මට” කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒක පරිසමාප්ත නෑ. මොකද ලියන දේ බෙදා ගැනීම දෙවන කාරණය නිසා. මේක තවත් විදිහකට කිව්වොත් කවිය මට අනුව ආත්ම මූලිකයි. දෙවැන්න මගෙන් පිට “ලෝකය මූලිකයි”. ඒ කියන්නේ විෂය මූලිකයි. කවියේ දී විතරක් නෙවෙයි අනෙකුත් කලා සාහිත්‍යාංගත් එහෙමයි. ඉතින් මුලින්ම ආත්ම මූලිකව උපදින දේ එහෙමම තියා ගෙන ඉන්නත් පුළුවන්. අතිශය පුද්ගලික නම් ඒ දේ අපි අපි ලඟම තියා ගන්නවා. තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න අකමැති නම් මොනම දෙයක් උණත් බෙදා නොගෙන ඉන්නත් පුළුවන්. මම එහෙම ලියලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. කවිම ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කාලාන්තරක් තිස්සේ ලියමින් හිටිය ආඛ්‍යාන කාව්‍යයක් එලියට අරන් දැන් ඉවර කරලා තියෙනව. බොහෝ දුරට මේ වසරේ ප්‍රකාශනය කරන්න පුළුවන් වේවි.

ඉතින් මේ විදිහට කවිය ප්‍රකාශනයක් විදිහට අභ්‍යාස කරමින් ඒත් එක්ක නියැලෙන කොට ආත්ම මූලික කියන කොටස විෂය මූලික කොටසත් එක්ක සහ සම්බන්ධ වෙලා රැෂනල් විදිහටත් ලියන්න පුළුවන් වෙනවා. මේ දෙකම නිර්මාණකරණයේ දී සිදු වෙන දෙයක්. පරිකල්පනය කිරීම කියන එක දකොටසම ඇතුළත්.

ලංකාවේ ඉන්නැද්දිත් විවිධ කාලවල, විවිධ අවස්ථාවල, විවිධ තැන්වල ජීවිතය ගෙවෙද්දී කවි ලියැවුණා. ලිව්වා. ලියන්න සිදුවුණා. කොළඹ ජීවිතය, හිරගෙදර ජීවිතය ඒ අතර තිබෙන විශේෂ කාල අවස්ථා. ඒවා ලොකු දේවල් කියල නම් මට හිතෙන්නෑ. ඒත් කවුරුහරි එක්ක බෙදා ගන්න එකත්, ඒකෙන් කවුරු හරි වේදනයට පත්කරන්න පුළුවන් නම් හොඳයි නේද කියන එක ඕනෑම මිනිසෙකුට තියෙන සතුටක්. නමුත් එදත් අදත් මම මේ ප්‍රවේශයන් දෙක තුළම ඉන්න කෙනෙක්. දැන් මම ලියනවා. ඒකට ලොකු බලාපොරොත්තුවක් නෑ. පිළිගත්තත් නැතැත්, මම ලියනවා. ඒක නිකං ජීවිතේ කොටසක් වගේ වෙලා තියෙන්නේ. අනික ලියනවා කියන එක මනසට භාවනාවක් වගේ දෙයක්. අතීතය ඇවිස්සෙනවා. අනාගතය පරිකල්පනය කරනවා. සිහින දකිනවා. සුන් කරනවා. ඒ හැම දේටම අපි ජීවත් වන මොහොත ලොකු සම්බන්ධයක් ඇති කරනවා. කවි ලියනවා කියන එක එක අතකින් ජීවිතය අවුල් කිරීමක්. හැබැයි හෙමීට ගෙන එන අවබෝධනයක්. බොර දිය පෑදි දිය බවට පත් වෙනවා වගේ. කවි තියෙන්නේ බොර දියේ. ඒ නිසා කවියා කරන්නේ බොර දියේ මාලු බෑමක්. ජීවිතේ පෑදි දියක් බවට පත් වෙන කොට හොඳ හියිකු ලියන්න පුළුවන් වෙයි. ඒ ඥාණය ලැබෙන්න අපිට පරිචය වගේම විවේක බුද්ධිය ඕන වෙනවා.

එදා ලිව්වට වඩා අද ලියන එක වෙනස් වෙන්නේ මගෙ පරිසරය නිසා. මම ඉංග්‍රීසි කාරයෙක් නෙවෙයි. මම දන්නවා මම දන්න ඉංග්‍රීසියේ තරම. ඒ වුණාම මට ලියන්න සිද්ධ කළේ මට රටෙන් පිට වෙනවත් එක්කමයි. ලංකාවේ ඉන්නකොට ඉංග්‍රීසියෙන් ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඉංග්‍රීසියෙන් ලියන්න මුලින්ම මුල පිරුවේ නේපාලේ ඉන්නැද්දි. මට දැනෙන දේ සිංහලෙන් ලියන්න පුලුවන් උනත් තවත් භාෂාවක් එක්ක මගේ අදහස් එලියට දාන්න ඕන කියන හැඟීම ආවේ මේ විප්‍රවාසී ජීවිතයක් එක්ක. ඒ නිසා මම ඉංග්‍රිසියෙනුත් කවි ලියන්න ගත්තා. ඒකට අන්තර් ජාල අවකාශය ලොකුවට බල පාන්න ඇති කියලා හිතන්න පුළුවන්. මේ හරහා අපි ලියන දේ ප්‍රකාශ කරන්නත්, නො දන්න කෙනෙකුගේ දෙයක් නො දන්නා අයත් එක්ක බෙදා ගන්න තියෙන අවස්ථාව ඉංග්‍රීසි භාෂාව තුල තිබෙනවා. මෙතන තිබෙන වැදගත් කාරණය වෙන්නේ නො දන්නා අවකාශයක නො දන්නා අයට ලියන එක තුළ තිබෙන බලාපොරොත්තුව දන්නා අයට ලියන එකට වඩා වෙනස්. එතැන විශ්වීය ස්වභාවයක් තියෙනවා. අපි ලියන දේ සහ අපේ අත්දැකීම් අනුව ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙක් කියවනවා. ඒක අපි සිංහල කවියක් ලියලා මුහුණු පොතේ දැම්මම තිබෙන තත්ත්වයට වඩා වෙනස් වෙන්නේ භාෂාව නිසාමයි. ඉංග්‍රීසිය ලෝක භාෂාවක් නිසාම යි. ඉංග්‍රීසියෙන් කවි දාහකට ආසන්නව ලියලා තිබෙනවා. ඒවා කවිද නැද්ද, හොඳ ද නරක ද කියන එකට වඩා මට දැනුණු හැඟුණු ඒ ඒ වෙලාවල්වල දී සිදු වුණු ප්‍රකාශන.

  • මේ කාව්‍ය සංග්‍රහයන් වෙනත් භාෂාවන්ගෙන් රචනා වී තිබීම නිස යි අපි එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ

ප්‍රශ්නයේ පදනම මට තේරෙනවා. ඇත්තටම මේ කවි පොත් දෙකේ මූලයම විප්‍රවාසී කියන කාරණය. මේ නිසාම තමයි මම “දියස්පෝරා” එහෙමත් නැත්නම් “ඩයස්පෝරා” (Diaspora)කියන යෙදුමත්, අනෙක් පොතේ විප්‍රවාසී (Exile) කියන යෙදුමත් මම යොදා ගන්නේ. ඒක නිකම්ම නිකං යෙදුමක් නෙවෙයි. එතන ඉතිහාසයක්, දේශපාලන හැඟවුමක් වගේම ජීවිතයේ වෙනස් වෙනත් පදාසයක් ගැබ්වෙලා තියෙනවා. මේ සංකල්ප දෙකටම ඓතිහාසික හා දේශපාලනික සංඥාවක් ලැබෙන්නේ තමන්ගේ මව් රටින් බැහැරව ඉන්න කියන අදහසෙන් වුණත්, තමන්ගේ රට තුළත් මිහිහෙකුට මේ සංඥාව අත් දකින්න පුළුවන්. භූමියෙන් පිටමං නොවී හිටියත් සිතුවිලි හා හැඟීමෙන් දැනීමෙන් අපි කොයිතරම් අපි අපිටම පිටස්තර ද කියන කාරණය ලංකාවේ ඉන්න කොටත් අත් දැකපු දෙයක්. ඒ හැඟීම අද වෙනකොට කාටද නැත්තේ කියන ප්‍රශ්නය විතරයි අහන්න වෙලා ඉතිරි වෙලා තියෙන්නේ. අනික් අතට දාර්ශනික හා විශ්වීය අර්ථයෙන් අපි කවුද පිටස්තර නො වන්නේ. අපි අපිටමත් පිටස්තර නැද්ද. මේ සක්වල තුල අපි විප්‍රවාසීන්. මොන මොන දේවල්වලට හිමිකම් කිව්වත්, පරමාර්ථයෙන් පිටමං කරපු සත්වයින්.

  • හයිකු කියන්නෙ ජපානයේ සාම්ප්‍රදායික කාව්‍ය ආකෘතියක්.ඔබ මේ වෙලාවෙ ඒ ආකෘතිය වෙත ගමන් කිරීමට විශේෂ හේතුවක් තියෙනවද ?

ඔව්; මම හිතන්නේ විශේෂ හේතුවක් තියෙනවා. මට අවස්ථාවක් ලැබෙනවා ලෝකය පුරාම ඉන්න කවියන් එකතුවත් (Poets unite worldwide) එක්ක සම්බන්ධ වෙලා ඉංග්‍රීසි කවි ලියමින් දායක වෙන්න. මෙතන දී තමයි මට හයිකු සහ ජපන් කවි සම්ප්‍රදාය ගැන උනන්දුව ඇති වෙන්නේ. ජපන් සම්ප්‍රධායේ කාව්‍යයේ සහ විශේෂයෙන් හයිකු සහ ටන්කා කවියේ ආකෘතියත්, ඒ තුළ ඇති කාව්‍ය දර්ශනයත් මට ආකර්ෂණයක් ගෙනෙනවා. මේ පොත් දෙක තුලම මම කරන්නේ හයිකු සම්ප්‍රධායේ ආකෘතිය අරගෙන විප්‍රවාසී අත්දැකීම අන්තර්ගතය බවට පත්කර ගැනීම යි. ඒක හරි ආශ්වාදජනක දෙයක්. ඒ වගේම ඒ ආකෘතිය ඔස්සේ සරල – සංකීරණ බව කියන දෙකම තියාගෙන පොඩි භාෂා සෙල්ලමක් දමන්න පුලුවන්. ගැඹුරු ප්‍රකාශනයකට යන්න පුළුවන්.

Glory lilies and my de facto heart කියන නම සිංහලට දැම්මොත් “නියඟලා මල් සහ මගේ තත්වාකාර හද” නම් පොත ඇතුලේ හයිකු කවියත්, හයිකු (Haiku) ආකෘතියේම ඇති සෙන්රියු (Senryu) කවියත් ටන්කා (Tanka) කියන කවි සම්ප්‍රධායන් තුලින් විප්‍රවාසීත්වය ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා.

අනෙක් පොත හියිකු දියකු (Haiku Diaku) කියලා නම් කරමින් නව කාව්‍ය ශානරයක් ලෙස මම අලුතින් හඳුන්වා දෙන කාව්‍ය විශේෂය තමයි “දියකු”. දියකු කියන්නේ දියස්පෝරා හයිකු (Diaspora- Haiku) කියන අර්ථය සංයුක්ත කිරීමක්. ඒක හියිකුවේ දිගුවක් වගේම ටන්කා කාව්‍යය හැකිලීමක්. මේ ගැන පැහැදිලි කිරීමක් පොතු තුළ අඩංගුකර තිබෙනවා. ඒ ශානරයටත් හයිකු, ටන්කා වගේ මාත්‍රා ගැන සැලකිල්ලක් කියෙනවා.

මෙතැන දී, මම ලියන්නේ මගේ ඉංග්‍රීසියෙන්. ඒක විප්‍රවාසී ඉංග්‍රීසිය. ඒ “ඉංග්‍රීසි භාෂාව”ම ද කියලා ඇහුවොත්, මම ඒක ගනන් ගන්නෑ. මම ලියන්නේ මගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් සංඥා පද්ධතිය නිසයි. සිංහල භාෂාවෙනුත් ඒක කරනවා. නමුත් දැන් මගේ ජීවත් වීමේ කලාපය වෙනස් නිසා වෙනත් භාෂාවක් යොදා ගන්නවා. ඒ නිසා “දියස්පෝරා කවි” කිව්වම එක වෙන සංඥා කලාපයක්. භාෂාවේ ආධිපත්‍යයටත් කරන අභියෝගයක්. ඒත් එක්කම පෙරලා තමන්ටත් අභියෝගයක්. දන්නවා කියන තැනට වඩා නො දන්නවා කියන එක තුළ වැඩ කරන්න වෙනවා. මම දන්නවා මට ඉංග්‍රිස බස විතරක් නෙවෙයි ඒ සංස්කෘතියවත් අහළක නෑ කියලා. මම ඉංග්‍රිසි ඉගෙන ගත්තෙත් ඉස්කෝලෙන් නෙවෙයි. කොටින්ම අපිට ඉස්කෝලේ නො හිටිම කෙනා තමයි ඉංග්‍රීසි ගුරුවරයා. මේ නිසා මේ බසත් විප්‍රවාසී බසක්.

ඉතින් මගේ දෙවැනි අනෙක් පොත හයිකු දියකු (Haiku Diaku) කියලා නම් කරමින් ඒ පොත භාෂා තුනකින් යුක්ත වීමට මම ජීවත් වෙන තැන හේතුවක් වෙනවා. ඒ නිසා තමයි මගේ ඉංග්‍රීසි කවි ජර්මන් සහ ප්‍රංශ බසට පෙරලන්නේ. ස්විස්ටර්ලන්තය කියන්නේ භාෂා විවිධත්වයට තැනක් තිබෙන රටක් වගේම, ජර්මන් ප්‍රංශ සහ ඉතාලි භාෂාව ප්‍රධාන වශයෙන් කතා කරන ගමන් රෙට්ට්‍රෝරොමෑන්ස් (Rhaeto-Romance) කියන භාෂාවත් ඇතුළුව පිළිගත් සංස්කෘතීන් තිබෙන රටක්. කවිය සම්බන්ධයෙන් මම ජර්මන් භාෂාව කතා කරන සංස්කෘතික කණ්ඩායම් එක්කත්, ප්‍රංශ භාෂාව කතා කරන කණ්ඩායම් එක්කත් වැඩ කරන්න හැකි වෙලා තිබෙනවා. ඒ අවස්ථාව හම්බවෙන්නෙත් ඉංග්‍රීසියෙන් ලිවීමේ ප්‍රථිඵලයක් හැටියට. එහි ඵලයක් හැටියට මම සහ ටෙරල් එක්ක එකතු වෙලා කවි සහ ඡයාරූප ප්‍රදර්ශන සහ වැඩමුළු කරගෙන යනවා. ඒවාට විවිධ ජන වර්ග භාෂා සහිත වෙනත් රටවල අයත් ස්විස් ජාතිකයිනුත් සහභාගි වෙනවා. කවි කියවීම්. වැඩමුලු තියනවා. ඒ වගේම නාට්‍යයත් කරනව.

  • ලංකාවෙත් හයිකු කාව්‍ය ගැන විශේෂ උනන්දුවක් තියෙන සහ ඒ ගැන හදාරන,හයිකු ලියන්න හදන පිරිසක් ඉන්නවා.ඔවුන්ගේ භාවිතය පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

අන්තර් ජාලයේ ලියැවෙන කවි සහ ලිපි ලේඛන කියවන්න ලැබෙන සීමාව ඇතුළේ තමයි මට ඒ ගැන යමක් කියන්න වෙන්නේ. මමත් සිංහලෙන් කෙටි කවි ලියන නිසා මම මුහුණ දෙන දේ ගැන කිව්වොත් මෙයින් යමක් තේරුම් ගන්න පුලුවන් වෙයි. හයිකු ගැන කියන කොට මුලින්ම මට කියන්න තියෙන්නේ. මම හයිකු ගැන දන්නේ ජපන් මූලයෙන් නෙවෙයි. මම හියිකු කියවන්නේ වෙනත් භාෂාවකට පරිවර්තනය කරලා තියෙන දෙයකින්. ඒ ගැන වැඩි පුරම ලියැවී තිබෙන්නේ ඉංග්‍රීසියෙන්. මේ නිසා හයිකු කවියට අයත් ගුණාංගයන් ගණනාවක් තියෙනවා.එවාත් එක්ක ඉංග්‍රිසි බසින් ගොඩ නැගී ඇති හයිකු සම්ප්‍රදාය විශාලයි. මේ නිසා ඉංග්‍රීසියෙන් හයිකු කාව්‍යයක් ලියනවිට අනුගමන කරළ යුතු මූලිකම දේවල් ටික සිංහල භාෂාවෙන් ලියන අවස්ථාවේ දී සලකා බලනව ද කියන ගැටලුව එනවා. නිදසුනක් විදිහට හයිකුවක තිබෙන පේලි තුන තිබිය යුත්තේ මාත්‍රා අනුපිළිවෙළකට. 5- 7 – 5 වශයෙන්. ටන්කා කවියක තිබිය යුත්තේ 5- 7-5- 7-7 වශයෙන්. සිංහල හයිකු කියලා කියන කවිවල පද පේලී තුනක් කියන එක තිබුණාම හයිකු කියලා කියනවා. ඒ ආකෘතික අතින්. නමුත් වැදගත්ම දේ තමයි හයිකු කාව්‍යයේ තිබෙන දාර්ශනික හරය ගැන සැලකීමක් තිබෙනවද කියන කාරණය. මේ නිසා මට හරියටම කියන්න බෑ අර ඉහත කිව්ව සම්ප්‍රධාය රැකගෙන කවි නො ලියන අය නෑ කියලා. නමුත් එකක් කියන්න පුලුවන් හයිකු කියලා ලියන බොහෝමයක් කවි හයිකු නොවන බව. නමුත් ඒවට “සිංහල හයිකු” කිව්වොත්, හයිකු සම්ප්‍රාධය මත ඉඳගෙන ලියන කවිවලට කියන්න වෙනත් විශේෂණ පදයකුත් හොයා ගන්න වෙනවා කියන එක.

  • කෙටි වූ පමණට හැම කවියක්ම හයිකුවක් විය හැකිද? හයිකු කවිය පිළිබඳ උනන්දුවක් තිබුනට ශ්‍රී ලාංකික කවි කිවිදියන් බොහොමයකට හයිකු කවියක් ලියාගන්න අපහසුතාවයක් තියෙන බව පේනවා. අපි හයිකු කවිය හදාරමින් අධ්‍යනය කරමින් ලියමින් ඉන්නේ අපටම අනන්‍ය වූ කෙටි කවියක් කියලා මම ඔබට කිව්වොත් ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන කියවීම කුමක්ද?

ඒකට මම එකඟයි. ඒකට හේතුව මම ඉහතින් කිව්ව කාරණය. ඇත්තටම පද තුනක කවියක් ලියන්න පුලුවන්. ඒත් හරි හමන් හයිකු කවියක් ලියනවා කියන එක වැඩක්. මේ නිසාම තමයි හයිකු කවියේ නූතන ප්‍රකාශනය විදිහට “සෙන්රියු” කියන කවි ශානරය තියෙන්නේ. ආකෘතිය හියිකුමයි. අන්තර්ගතය අපට ඕන දේ කියන්න පුලුවන්. අන්තර්ගතය අතින් සිංහලෙන් ලියන පේලි තුනේ කවි මේ ශානරයට අයත් වෙනවා කියලා කියන්න පුලුවන් නමුත් මාත්‍රා ගැන සැලකිල්ලක් නැති නිසා හයිකු කියන ආකෘතිය අතින් ගැටලුවක් තිබෙනවා. නමුත් අපට අනන්‍ය වූ කෙටි කවි ආකෘතියක් කියන එකත් කුමකට අනුව ද කියන සාපේක්ෂබවත් එක්කයි මේ ගැන හිතන්න වෙන්නේ. කෙටි කවි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොම කවියකට ද කියලා හොයලා බැලුවොත් අවශ්‍ය නම් ඊට සරිලන ආකෘති තිබෙනවා. සිංහල කවිය තුලත් කෙටි කවි සම්ප්‍රධයක් විදිහට සම්මුතියක් නැතත්, ප්‍රභල කාව්‍ය තිබෙනවා.

අනිත් වැදගත්ම දේ තමයි ලෝකය තොරතුරුවලින් ඇති බහුලබව සහ බහුවිධ බවත්, මිනිස් ජීවිතවල ඇති අනවශ්‍ය තරඟය නිසා, දේවල් කෙටි වීමට පටන් ගැනීම නිසාත්, තාක්ෂණය නිසාත්, කෙටියෙන් කියන්න වෙලා තියෙනවා. ඒ තුලත් සිංහල කෙටි කවිය කියන ශානරය පැහැදිළිවම හයිකුවෙන් වෙනස් නිසා ඊට හිමි අනන්‍යතාවක් තිබෙන්නට පුළුවන්. නමුත් ඊට හයිකු කියලා කියනවා නම් හයිකුවක ඇති ගුණය සහ ආකෘතිය මොකක්ද කියන එක ගැන අධ්‍යයනය කරන එක වරදක් නෙවෙයි. බොහෝ දෙනෙක් නිදසුන් විදිහට ගන්න ලක්ෂාන්ත අතුකොරලගේ කෙටි කවියක් වන වැඩ ඇරී වැඩට යති ගැහැණු කියන කවිය පද තුනකට කැඩුවොත් මෙහෙම ලියන්න පුළුවන්.

වැඩ ඇරී
වැඩට යති
ගැහැණු

මෙතැන පේලි තුනක් තියෙනවා. මාත්‍රා වශයෙන් බැලුවොත් 4- 5- 3. මේ කවිය තුල හයිකු ආකෘතිය ආරක්ෂා වී තිබුණට හයිකු කාව්‍යක් කියලා කියන්න බැහැ. මේ කවිය සෙන්රියු කියන ශානරයට ගන්න පුලුවන්.

  • සාහිත්‍යය පිළිබඳව උනන්දුවෙන් වුවමනාවෙන් විප්‍රවාසීව ඔබ ජීවත් වෙන අතර මේ වෙලාවෙ ලංකාවෙ මිනිස්සු ජීවත් වෙන්නෙ බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇතුළෙ.ඔබට ඒ අය මතක් වෙන්නෙ නැද්ද?

ස්විස්ටර්ලන්තයේදීත් මගේ පූර්ණකාලීත්වය වෙලා තියෙන්නේ කලා සංස්කෘතික දේශපාලනික පර්යේෂණ වැඩත් එක්ක. නාට්‍ය කරන ගමන් තවත් එක එක දේවල් කරනවා.සරණාගතයෙක් නිසා මාව ආණ්ඩුවෙන් බලා ගන්නවා. ඒ වෙනුවට මට කරන්න පුළුවන් දේ ස්විස් සමාජයටත් දෙනවා. මේ නිසාම ඇත්තටම ලංකාව ගැනත් හිතන්න සහ යමක් කරන්න පුලුවන් කමක් හැදිලා තියෙනවා. ඇත්තටම ගත්තොත් වැඩියෙන් හිතන්නෙත් ක්‍රියා කරන්නෙත් ලංකාව ගැන. ඒ නිසා ඔය ප්‍රශ්නෙට උත්තරේ අපි ක්‍රියාවෙන් කරනවා.

ඔබ අහන විදිහට හොඳටම මතක් වෙනවා. දැනෙනවා. රටේම, දේශපාලනයේම, සංස්කෘතියේම, ආර්ථිකයේම ප්‍රශ්නයක් වුණාට, මට හැකි ආකාරයට ඒවට මැදිහත් වෙනවා. දන්නෝ දනිති කියලා විතරයි කියන්න තියෙන්නේ. ලංකාවේ ප්‍රශ්නය උන්ගේ දේශපාලනික ප්‍රශ්නයක් එක්ක බැඳුණු ආර්ථික ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන් නමුත් ඒක මම දකින්න කැමැති දාර්ශනික සහ සංස්කෘතික ප්‍රශ්නයක් විදිහට. ඒකට ආමන්ත්‍රණය කරන්න පුලුවන් දේශපාලනයක් මේ මොහොත වෙනකොට දකින්න නැති නිසා, සංස්කෘතික දේශපාලනයට මේ වෙලාවේ ලොකු වැඩක් තියෙනවා. ඒක අද හෙටට නෙවෙයි. තිරසාර චින්තනයකට යොමු විය යුතු ලෝක දැක්මක් සහිත සංස්කෘතියක් කලාවක් සාහිත්‍යයක් වගේම ඒ තුළ දේශපාලනයක් තිබිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අභියෝග දුෂ්කරතා, පසුබැසීම් එක්ක ලංකාව ගැන හිතන එක නතර කරලා නෑ කියලා කිව්වොත් අතිශයෝක්තියක් නෙවෙයි.

ප්‍රශ්න සැකසුම ලක්ෂාන් මදුරංග


කර්තෘගේ වෙනත් කෘති 

1. අඳෝනා (කාව්‍ය)
2. වැලි පෙට්ටිය සහ සම්භාව්‍ය නාට්‍ය (පරිවර්තන
3. විසංයෝජනය (ගුවන් විදුලි නාට්‍ය)
4. බදුලු ටැම් ලිපිය දස වන සියවස සහ නැවත කියවීම
5. නමුත් නිහඬයි (කාව්‍ය)
6. සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය (සංස්කරණය)
7. නැගෙනහිරට වම- විල්පවීය ඥාණවිභගෙයක්
8. කොක්ටේල් කාව්‍යමය වයින් (සංස්කරණය)
9. ලාංකීය පරාජයේ ගැටුම් අයිස්බර්ගය- යොහාන් ගල්තුන්ගේ ගැටුම් න්‍යාය හරහ ලංකාව පිළිබඳ නැවත සිතා බැලීමක්
10. ඩයස්පෝරාවෙන් දුටු ගෝල් ෆේස් අරගලය (ඩිජිටල්)
11. නිමක් නැති අවසානයක් – ලංකාව/ ධනවාදය/ සමාජවාදය/අවකාශය – (ඩිජිටල්)

ඉංග්‍රීසි බසින්

12. Fragrance of loss ( Diaspora poetry in Haiku, Senryu and Tanka)
13. Glory Lilies and my de facto heart ( Diaspora poetry in Haiku, Senryu and Tanka)
14. Haiku Diaku- a new form of exile poetry from Haiku to Diaku ( Trilingual- English French German)
15. Digital කාව්‍ය කෘති 20 කට පමණ දායකත්වය


leave a reply