Breaking News

වැහි වැටෙන දවස් හරි අපූරුයි.

හිල්මි සුපුන් 

මං හිතනවා මෑත කාලයේ කවි පොතකට ලැබුණු උපරිම ප්‍රතිචාරය ලැබුණේ ” වැහි වැටෙන දවස් ” කවි පොතට කියලා . විශේෂ එළිදැක්වීමේ වැඩක් නොකළත් මාජ මාධ්‍ය ජාලා හරහා ඉගිල කිය ප්‍රචාරය ” වැහි වැටෙන දවස් ” කාව්‍ය සංග්‍රහය සමාජගත වෙන්නට ප්‍රමාණවත් වුණා. ඒ වගේම බොහෝ දෙනෙක් පොත හොයාගෙන කියවන්න පෙලබුනා . ” වැහි වැටෙන දවස් ” සමාජ මාධ්‍ය ජාලා හරහා පුවත්පත් පිටු වලින් චින්තකගේ කවි කියවා තිබුණු පාඨකයෝ හොයාගෙන ගියේ නිරායාසයෙන්මයි. එනිසා චින්තකට අමුතු වෙහෙසක් දරන්න සිද්ද වුණේ නැහැ පොත ජනගත කරන්න. තවමත් ඔහුගේ පොත පිළිබඳව පාඨක ප්‍රතිචාර ලැබෙනවා.

චින්තකගේ කවි කියවන්න අප පොළඹවන්නේ ඔහුගේ රමණීය බස් හැසිරවීමයි. ඔහු නිර්මාණ සඳහා උපයෝගී කරගන්නා ප්‍රස්තුත බොහොමයක්ම නිතරම අපට හමුවන ඒවාය. සමහර ඒවා අපි විඳපු ඒවාය . සමහර ඒවා අපි විඳවපු ඒවාය. ඒ නිසාම අපේ ප්‍රශ්න වෙනස් විදිහකට රචනා වෙච්ච තැනකදී අපිටත් ඒක අපේ කරගෙන රස විඳින්න හෝ දුක් විඳින්න පුළුවන්.

හාවා ඇවිත් අහසින් පහළට බැහැලා

මැදියම ගෙවෙද්දී පාඩම් මේසෙ ළඟ
කවුළුව දිගේ ගැලූවා සඳ වතුර ගඟ
ගඟ දිග පැමිණි කවුරුන් හෝ මිදුල ළඟ
දුටුවෙමි නතර වී නටමින් සිටින වග

තනියම සඳේ ඉන්නට කම්මැලි හිතිලා
හාවා ඇවිත් අහසින් පහළට බැහැලා
පාඩම් කරපු පොත ඩිංගිත්තක් වහලා
ඇසුවෙමි එහේ විස්තර මොනව ද කියලා

මුළු ආකාසෙට ම මං විතරයි ඉන්නේ
තනිකම නිසයි ඉඳහිට ඇවිදින් යන්නේ
සෙල්ලම් කරන්නට නෑ කිසිවෙක් එන්නේ
තනියම තමයි මං මෙහෙ ආවත් ඉන්නේ”

පැන පැන ඇවිත් හාවා කවුළුව ළඟට
ඇහුවා යන්න කැමති ද” කියලා සඳට
දරුවෝ අමතක ද ශිෂ්‍යත්වය නුඹට”
අම්මා වසා දැම්මා කවුළුව තදට

මේ තමයි චින්තක මට හමුවෙන මුල්ම කවිය. මේ කවිය කියවන්න ලැබෙන්නේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහණ ලැබූ “හිතාදර දළඹුවානණි” කාව්‍ය සංග්‍රහය පිළිබඳව ප්‍රචාරයක් ගිය කාලවකවානුව තුලයි . මේ කවිය මගින් හෙළිකරන ශිෂ්‍යත්ව විභාගය සමඟ ගොඩනැඟී තිබෙන අර්බුදය බොහෝ අවස්ථාවලදී කවියන් තමාගේ වස්තු විෂය කරගෙන කවි ලියලා තියෙනවා. ඒ බොහෝ කවි අතර ඒ විෂය සම්බන්ධයෙන් චින්තක ලියූ මේ කවිය තුළ මගේ හිත නවතිනවා.කෙසේ වෙතත් ඉහත කවිය අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ ඉතාමත් සරලව මේ අර්බූදය ඉතාම මැනවින් දරුවාගේ දුෂ්ටියෙන් ඉදිරිපත් කර තියනවා. ඔහු ඔහුගේ නිර්මාණ තුළින් තමන්ගෙ නිර්මාණ වෙත පාඨකයාව ඇද බැඳ තබා ගන්න සමත්.

නිර්මාණකරුවෙකුට අපට සීමාවන් දාන්න බැහැ. යා යුතු මග කියා දෙන්න බැහැ. පාඨකයන් හැටියට නිර්මාණ රස විඳපු පුද්ගලයන් හැටියට අපට පුළුවන් අපගේ අදහස ඒ නිර්මාණය පිළිබඳව ඉදිරිපත් කිරීමට පමණයි. මට හිතෙන විදිහට චින්තක උත්සාහ දරන්නේ තමන්ගේ නිර්මාණ තුළින් සමාජය ප්‍රශ්න කරන්නට නෙවෙයි පාඨකයාව පුද්ගලිකවම තම තමන්ගේ හෘද කුටි තුළ සඟවා ලන්නට කියයි.

හිල්මි සුපුන්

 

leave a reply