Breaking News

ජවිපෙ උද්ඝෝෂකයන්ට එරෙහිව නිරෝධායන නීතිය යොදාගැනීමට එරෙහිවෙමු!

බොරලන්ද ප්‍රදේශයේ විරෝධතාව සම්බන්ධයෙන් නාමල් කරුණාරත්න හා සමන්ත විද්‍යාරත්න යන ජ.වි.පෙ. හිටපු මන්ත්‍රිවරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමේ සූදානමකින් පොලීසිය කටයුතු කරන බව පෙනේ. මේ වනවිටත් එයට සම්බන්ධ ක්‍රියාකාරින් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විරෝධතාකරුවන් සිරගතකිරීමට චෝදනා ගොනු කරන්නේ අයුතු ජන රාශිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ හේතු ලෙස දක්වමිනි.

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හා සටන්වැදීම, වෙනත් මත දැරීම මෙන්ම විරෝධය දැක්වීම මෙරට ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන අයිතියකි. එම නිසා අයුතු ජනරාශියක් ලෙස නම් කරමින් විරෝධතා මර්දනය කිරීමට පොලීසියට ඉඩ දිය යුතු නැත.

එසේම නිරෝධායන නීතිය පොලීසිය විසින් ජනතා සටන් මර්දනය සඳහා යොදාගනු දක්නට ලැබේ. නමුත් සත්‍ය ලෙසම නිරෝධායන නීති උල්ලංඝනය කරනු ලැබුවේ එම ජනතා සටන්වල යෙදුණු ජනතාව නොව පොලිසියයි.

උදාහරණයකට පසුගිය වසරේ නිරෝධායන නීති ආරක්ෂා කරමින් පැවැත්වූ ජෝජ් ෆ්ලොයිඩ් මරා දැමීමට එරෙහි උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් මැදට කඩා පැන සමාජ දුරස්ථභාවය නොතකමින් නිරෝධායන නීති උල්ලංඝණය කළේ පොලිසියයි. ඊට අමතරව පසුගියදා මෝදර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ධීවර උද්ඝෝෂණය අවස්ථාවේද පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කරමින් පුද්ගලයන් කුදලාගෙන යාමට උත්සාහ කරනු දැකිය හැකිවිය. එසේම කොතලාවල පනතට එරෙහිව පැවති අන්තරේ උද්ඝෝෂණය අවස්ථාවේදී ද එයම සිදුවිය. නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම සහ දැනටමත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබීම තවත් ඒ ආකාරයේම සිදුවීමකි.

රට පුරා ගොවි ජනතාව, ධීවර ජනතාව මෙන්ම වෙනත් ජීවනෝපාය කරන ජනයා මෙන්ම වෘත්තිකයන් සිය ගැටලු හමුවේ විසඳුම් නොමැති තත්වයක් තුළ උද්ඝෝෂණ මගට බසිමින් සිටී. විශාල පොරොන්දු පොදියක් ලබාදෙමින් බලයට පත්වූ ආණ්ඩුව ඒ කිසිවක් ඉටු නොකිරීම ගැන ජනතාව සිටින්නේ කෝපයෙනි. පොලිසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා තරමට ඉදිරියට ගිය බොරලන්ද නගරයේ උද්ඝෝෂණයට ගොවි ජනතාව පැමිණියේ ගුරුතලාව, රත්කරව්ව, බෝගහකුඹුර ඕහිය ප්‍රදේශවලිනි. පෙළපාලියෙන් පැමිණි සටන්කාමී ගොවියෝ උද්ඝෝෂණය කළේ ආණ්ඩුව විසින් කඩිකුලප්පුවෙන් කළ පොහොර – කෘෂි රසායන තහනම හේතුවෙන් තමන් ඇද වැටී ඇති තත්වය පාලකයන් නොසළකා හැරීම නිසාය. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි නිසා ඔවුන් නිහඬ කිරීමට දැන් කරමින් ඉන්නේ විරෝධතා දක්වන ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීමය.

මේ ආකාරයෙන් පොලීසිය උද්ඝෝෂකයන්ට පාට් දමන්නේ නිරෝධායනය නීති රැකීමට නොව පාලකයන්ට විරුද්ධව නැගෙන ජනතා හඬ මර්දනය කිරීමේ අරමුණ සහිතව පැහැදිලිය. එම නිසා සැබෑ ලෙසම නිරෝධායන නීති උල්ලංඝණය කරන පොලීසිය නිරෝධායන නීතිය යොදාගනිමින් එම හඬ යටපත් කිරීමට කටයුතු කිරීමට එරෙහි වීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක් ලෙස පවතියි.

leave a reply