Breaking News

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලුවලට මැදිහත්වෙන්න – නිදහස උදෙසා කාන්තාවන් ආණ්ඩුවෙන් ඉල්ලයි

 

කොරෝනා වසංගත සෑම රටකම පැතිර යන මේ මොහොතේ ගෘහ සේවිකාවන් ඇතුළු විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ජීවිත පිළිබඳ වන සොයා බැලීමක් සහ වගකීමක් රජයේ පාර්ශ්වයන් විසින් සිදුකළ යුතුබව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි. ඇය පැවසුවේ කිසිදු අයිතිවාසිකමක් නොමැතිව ගෘහ සේවයේ යෙදෙන ශ්‍රමික කාන්තාවන් මුහුණ දීමට වන විශේෂ තත්වයක් ඇති බවයි. වඩාත් ආරක්ෂාව සැලසෙන්නේ විදෙස්ගත ව සිටිය දී ද, නැතහොත් ලංකාවේ සිටිය දී ද යන්න සංසන්දනාත්මකව පැවසිය නොහැකි වුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත් මැදිහත්ව ගැටලු පැන නැගී ඇති සේවකයන් සඳහාත්, යම් යම් සහන හෝ මැදිහත් වීම් අවශ්‍ය අය සඳහාත්, සොයා බැලීමේ හා මැදිහත්වීමේ වැඩපිළිවෙළක් සැකසීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාර්යයක් බව හේමමාලි අබේරත්න පවසයි.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න වැඩිදුරටත් පැවසුවේ,

“මේ දිනවල ලෝකේ පුරා පැතිර යමින් පවතින කොවිඩ් 19 වෛරසමය වසංගත තත්ත්වය තුළ ලංකාවෙන් විවිධ අරමුණු උදෙසා විදෙස්ගත වූ විගමනිකයන්ට මුහුණ දෙන්නට සිදුවන විවිධ ගැටලු, දුෂ්කරතා, ආර්ථිකමය හා සෞඛ්‍යමය අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳව විවිධ පුවත් සමාජ මාධ්‍ය ජාලා තුළ පළ විය. ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස කරන ලද ඉල්ලීම් ද විශාල සංඛ්‍යාවක් විය.

කොවිඩ් වසංගතය ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමට පෙර ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව කිසිවෙකුට කිසිදු තර්කයක් නැත. වසංගතය හමුවේ මෙරට තුළ ආරක්ෂාවක් ඇතැයි එම මොහොතේ ඕනෑ ම කෙනෙකුට සිතීමට අවකාශ තිබිණි. එහෙත් මේ වන විට ලංකාව කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති රටකි. අනෙක් පසින් අවශ්‍ය තරම් වෛරසය ආසාදිතයින් හඳුනාගැනීම උදෙසා පුළුල් ලෙස පරීක්ෂණ දියත් කිරීමේ හැකියාවක් හා දැනට ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩල ද ලංකාවේ නැත. එනිසා වඩාත් ආරක්ෂාව සැලසෙන්නේ විදෙස්ගත ව සිටිය දී ද, නැතහොත් ලංකාවේ සිටිය දී ද යන්න සංසන්දනාත්මකව පැවසිය නොහැකිය.

එක් පසෙකින් වසංගත තත්වය පැතිර යමින් පවතිද්දී ලංකාව ඉක්මන් මැතිවරණයකට සූදානම් වන බව ද පෙනේ. එම තත්ත්වය හමුවේ වෛරසය පැතිරීම කවරාකාර වේ ද යන්න ද ගැටලු සහගත ය. අනෙක් පසින් වසංගත තත්ත්වය හමුවේ මතුවන ආර්ථික අර්බුදය නිසා විදෙස් රැකියා අතහැර ලංකාවට පැමිණීමෙන් පසු යම් ආර්ථික සුරක්ෂිතතාවයක් හිමිවේද යන්න ද ගැටලු සහගත ය .

එහෙත් ලංකාවට පැමිණිය යුතු යැයි විදෙස්ගත ශ්‍රමිකයන් ඉල්ලා සිටින්නේ විදෙස් රටක දී තමන්ට ඇතිවන වසංගතය ආශ්‍රිත ගැටලුවක දී එරට පුරවැසියෙකුට ලැබෙන සෞඛ්‍යයමය පහසුකම්, ආර්ථිකමය පහසුකම් හා සුරක්ෂිතතාව නිසි ලෙස ලැබේ ද යන ප්‍රශ්නය පිළිබඳ සහතිකයක් නොමැති හෙයිනි .

ආයතනයක සේවය කරන ශ්‍රමිකයකු ට කම්කරු අයිතිවාසිකම් යටතේ සහ අනෙක් ශ්‍රමිකයන් අතර සමානයෙක් වීම මත ලැබෙන යම් හෝ සහනයක් ඇතත් මෙහිදී මැදපෙරදිග කලාපය තුළ ගෘහ සේවයේ යෙදෙන ශ්‍රමිකයන්ට මුහුණ දීමට වන විශේෂ තත්වයක් ඇති බව පෙනේ. ඔවුන් තනි තනි ගෘහයන් තුළ හුදෙකලා වීමත්, හාම්පුතුන්ගේ ස්වභාවය මත එක් එක් ගෘහ සේවිකාවට මුහුණ දීමට වන තත්ත්වයන් විවිධ වීමත්, පහසුකම් වල පවතින ගැටලු නිසා සන්නිවේදනය තුළ පවතින දුබලතා ත් මත ඔවුන්ට මුහුණ දීමට වන තත්ත්වය සාපේක්ෂව බරපතළ වීමේ ඉඩ කඩක් පවතියි. මෙම තත්වය හමුවේ ගෘහ සේවිකාවන් ඇතුළු විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ජීවිත පිළිබඳ වන සොයා බැලීමක් සහ වගකීමක් රජයේ පාර්ශ්වයන් විසින් සිදු කිරීම අත්‍යවශ්‍යය.

එම රටවල සේවයේ යෙදෙන ලාංකීය ශ්‍රමිකයන් සේවයේ යෙදෙන ස්ථාන පිළිබඳ එරට ලංකාවේ තානාපති කාර්යාලය දැනුවත්ව සිටිය යුතු අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත් මැදිහත්ව ගැටලු පැන නැගී ඇති සේවකයන් සඳහාත්, යම් යම් සහන හෝ මැදිහත් වීම් අවශ්‍ය අය සඳහාත්, සොයා බැලීමේ හා මැදිහත්වීමේ වැඩපිළිවෙළක් සැකසීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සලකන මෙන් එම වගකිව යුතු පාර්ශ්වයන් වෙතින් අප ඉල්ලා සිටිමු.

leave a reply