Breaking News

පද්ධතිගත කවිය ම පෙරාගත් “සිස්ටමික් ඇස් අග”

කපිල එම්. ගමගේ

කවිය පිළිබඳ සංවාද සාකච්ඡා බහුල වෙනු දැන් කෙමෙන් දකින්නට ලැබෙන කාරණයක්. එයට කිසියම් ආකාරයකට නව සන්නිවේදන තාක්ෂණය බලයක් සපයා ඇති ආකාරයද දැකිය හැකියි. ඒ බලය භාවිතා කරමින් කවිය තමන් ගේ උරුමයක් ලෙස ගත්තෝ තමන්ට රිසි කුලකයේ කවි පමණක් ගැන සාකච්ඡා සංවාද පවත්වනු දකින විට සිතෙන්නේ වේදිකාව වෙනස් වුවද රඟන්නෝ පරණ නළුවන් ම බවයි. ඒ නිසා නූතන කවියට ප්‍රවේශ වන කුසලතා පූර්ණ කවිය බොහෝ දෙනෙකුට මග හැරි යන අයුරු සූක්ෂම නිරීක්ෂණයන් තුලින් අවබෝධ කර ගන්නට පුලුවන්. කෙසේ වෙතත් වර්තමාන කවියේ සුවිශේෂ ලක්ෂණය වන්නේ එහි ප්‍රමාණාත්මක වර්ධනයයි. එය කවියට හානිකර යැයි කිසිවිටක නොසිතිය හැක්කේ මේ ප්‍රමාණාත්මක ගොඩේ ගුණාත්මක බවින් මතුවෙන්න උත්සාහ කරන කවි පැලපතක් ද දකින්නට ලැබෙන නිසා. ඒවාට නිසි කල දිය පොහොර ලබා දෙන්නේ නම් අනාගත සාර අස්වැන්නක් ගැන බලාපොරොත්තු සහගතවන්නට අපට හැකියි.

මිගාර බමුණුසිංහ තරුණ කවියා අපට මුණ ගැසෙන්නේ ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන “සිසිර සඳ ළං වූ දිනේ සිට” කාව්‍ය කෘතියෙන්. මේ ඉදිරිපත්වීමෙන් කවිය පිළිබඳ අවංක බැඳීමක් සාදාගන්නට උත්සාහ කරන කවියෙකු අපට හමුවුණා. ඔහු එහි දී අභ්‍යාස සීමාවකට යටත්ව සිය කවිය සකසා ගන්නට වෙර දරන ආකාරය දැකිය හැකිවුණා. මිගාර දෙවන වර අපට හමුවන්නේ “සිස්ටමික් ඇස් අග” නම් වූ සිය දෙවන කාව්‍ය එකතුව සමගින්. නූතන සමාජය ස්වභාවයෙන්ම පද්ධතිගත සමාජයක්. මිනිසුන් සිය ජීවන ගමන යන්නේ අනුන් විසින් සකසා දෙනු ලබන පද්ධතියක නියෝගයන්ට යටත්ව. මේ නිසාම නූතන මිනිසා ගේ දැක්ම පවා සැකසී ඇත්තේ එකී පද්ධතියට යටත්ව. මේ නිසා මිගාර ගේ කෘතියේ නාමකරණය පවා පුලුල් සමාජ දේශපාලන අරුත් පදාසයක් සංකේතාත්මකව නියෝජනය කරනවා.

කෘතියේ එන නිර්මාණ සියල්ල එක ලෙස ගුණාත්මක බවින් පරිපූර්ණ නොවූවද පෙර සිටි කවියාට වඩා පෝෂිත කවි රැසක් මෙවර නිර්මාණ එකතුවේ අපට සම්මුඛ වෙනවා. “ඒ කන්ද තාත්තෙක් නම්”, “පරණ කොපි පොත”, ” සොහොන් බිම ප්‍රේමය”, “කඩල කරත්ත”, “අරගල භූමියේ අරගලය”, ” නොපෙනෙන කඳුළු”, “අද ඇගේ ලෝකය, හෙට?”, “රෑ මල්” වැනි නිර්මාණ කවියා කෙමෙන් වැඩෙන ආකාරය දකින්නැයි ඔහු අපට සපයා දෙන උදාහරණ. ඇතැම් නිර්මාණයක් තුල අපූරු කවිත්වයක් මිගාර විසින් පෙන්නුම් කරනවා.

” නුඹ යන්න
ගඟක් වී මිහිතලයේ ඇවිදින්න
සයුරක් තරම් ප්‍රේමයේ
ලවණ රස විඳගන්න
ළමැද හරියෙන් දිය දෝතක්
ගගන වලාවක රඳවන්න
අම්මයි මායි ඉන්න පැත්තට එවන්න
වැස්සක් ව වසින්න.”

පැටවුන් කූඩුවෙන් මුදාහල පසු මව් දෙමව්පියන් ගේ සාන්ද්‍රික ප්‍රාර්ථනා ඔහු නවමු සංකල්ප රූප සමග ඉදිරිපත් කරන්නේ එලෙසිනි.
මිගාර ඇතැම් විට නිදහස් ආරේ කවියට වඩා සිව්පද ආරේ කවියට වඩා සමත්කමක් දක්වන්නේ දැයි සැක සිතෙන ඒ ආරේ කාව්‍ය නිර්මාණ කිහිපයක් ම මෙහි අඩංගු වෙනවා.

“හිරවුණෙන් ස්මාර්ට් පන්ති කාමර වලට
දුව අසයි කොපි පොතෙන් පිවිසෙන්න මා තුළට
වෙලාවක් නැහැ යන්න ගහකොළට ඇළ දොළට
මදිටියා ඇට වුණත් අරන් දෙන්නේ මිලට”

දරුවන් පරිසරය විඳිමින් ඉගෙනගන්නවා වෙනුවට තාක්ෂණික භාවිතයෙන් ඉගෙන ගැනීමේ සියුම් අහිමිවීම මිගාර දකින්නේ එලෙසිනි. පොත් පිටු අතරේ අක්කපාන කොළ මුල් අදින ආකාරය සැබෑ ලෙස අත්විඳින්නට නූතන දරුවාට ඉඩක් නැත.
මෙහි එන “සොහොන් බිම ප්‍රේමය” අපූරු කවිතාවක් රැගත් නිර්මාණයක්. නිදහස් ප්‍රේමයට තව තවත් වැටකඩොලු බඳින, ඒ වෙනුවෙන් නීති සම්පාදනය වෙන වකවානුවක ඇතුලු වීමට මිලක් අය නොකරන, කුරුළු කූජන ඇසෙන, මල් පිපෙන සොහොන් බිම් අවකාශය ප්‍රේමයට ක්ෂේමභූමියක් වන ආකාරය අපූරුය.

“යෞවනියන් නමට මල් හෙළන්නට
කහපාට මල් ගහක් බලන් ඇති”

“කඩල කරත්ත” නිර්මාණය මෙහි ඇති සූක්ෂමතා අනූන නිර්මාණයක්. මත්පැන් අලෙවි සැල් අසල කඩල විකුණන කඩල කරත්ත කවියා මෙහිදි ප්‍රස්තූත කොට ගන්නවා. කඩ විකුණා අහවර වූ පසු ඒ කඩල කරත්ත ගෙදර යති.

“තිත්ත මීවිතක ඇත්ත රස බලන්නට
පෙරෙත්ත කරන හදවත සඟවන්
ගෙදර යයි කඩල කරත්ත”

මීවිතින් සප්පායම් වෙන මිනිසුන්ට කඩල විකුණන විට කඩල කරත්කරුවාටත් මීවිත තොලගාන්නට සිතක් පහළ වෙනවා. නමුත් එය පසෙක ලා ඔහු ගෙදර යනවා. ඒ කෙසේද ?

“ලාබ සිල්ලර අඩුවැඩිය
පුංචි සිලි කවරයේ එල්ලන්
බාගෙට වහන මාළු ලෑල්ල ඉව කර
මලානික පන්දම් එළියෙන්
ගෙදර යයි කඩල කරත්ත
දූවිලි අහස අස්සෙන්
දිලිසෙන තරු අකුරු දැක දැක
කනිෂ්ටෙ ගාව නැවතී
හිනාවෙයි කඩල කරත්ත”

මෙවැනි සමාජ ආන්තික කොටස්වල සිහින කවියා පරිකල්පනය කරන ආකාරය අපූරුයි. එවැනිම සමාජ ආන්තික කොටසක් වන වීදි ලඳුන් පිලිබඳව වෙනස් පර්යාලෝකයකින් බලන නිර්මාණයකි “රෑ මල්”.

” රෑ මල්
පිබිදෙයි
සුවඳ විහිදෙයි
බෝ ගස් යටින්
සිහින දකින නගර මැද”
ඒ උත්ප්‍රාසාත්මක භාවිතය අපූරුය.
“රාත්‍රිය පාළුයි
සුදු ම සුදු නොඇන්දාට
රෑ මල් සුදුයි”

බොහෝ සුදු අඳින මිනිසුන් අභ්‍යන්තරයෙන් සුදු නොවේ. බාහිරින් කිළිටි යැයි සමාජ සම්මත මිනිසුන් අභ්‍යන්තරයෙන් සුදුය.

” සත්පුරුෂ කෘමි සත්තු
රෑ මල් නෙළයි
සිඹියි
තළයි
පරාගනයක් නොවෙයි.”

වීදි ලඳුන් විඳින්නේ එවැනි ශාරීරික වද බන්දනයක්. ඒ අනෙකක් නිසා නොව.

කැකුළු මල් පේලියක්
කනිෂ්ටෙ බංකුවක
පිපී නැළවෙයි
රෑට පාඩම් කරලා
නිදියයි
අනාගතයේ දිනක
උන්ට රෑ නොපිපෙන්න
හැම රෑ ම
රෑ මලක්
සුවඳ විහිදයි.”

මිගාර ගේ මෙවැනි නිර්මාණ කවියා සෙමෙන් සාරවත් ව වැඩෙන කවියෙකු බවට අපට ඉඟි සපයයි. නමුත් “සිස්ටමික් ඇස් අග” නිර්මාණ එකතුවේ එන ඇතැම් කාව්‍ය තවමත් පවතින්නේ කළල අවදියේ බව පෙනෙයි. ඒවා කලින් බිහිනොකරගෙන දස එකඩ මස් ගෙවා ස්වාභාවිකව බිහිවන්නට ඉඩ හැරියානම් අපූරු වන්නට ඉඩ තිබුණි. “Emergency Treatment Unit”, “වැස්ස”, “උස් හදවතක නොපෙනුණ ප්‍රේමය”, “අමතකම නැති අංකය” වැනි නිර්මාණ එවැනි මගහැරගත් කාව්‍ය අනුභූතීන් ය.
කෙසේ වෙතත් මිගාර බමුණුසිංහ තරුණ කවියා පොරොන්දු සහගත කවියෙක් බව ඔහුගේ දෙවන නිර්මාණ එකතුවෙන් අපට හඳුනාගත හැකිය. ඔහු ඉදිරියේ ඇති අනාගත අභියෝගය වන්නේ බස සකස් කර ගැනීමත්, තියුණු සමාජ දේශපාලන දැක්මක් මුවහත් කරගැනීමත්, කවියේ උස්මහත් වීම ඉවසා සිටීමත් වැනි කාරණයන් ය. එය ඔහුට ජයගැනීමට අපහසු ඉලක්කයන් නොවන බව පළමු කවි එකතුවේ සිට දෙවන කවි එකතුවට එන විට ඔහු දැනටමත් පෙන්වා අවසන් ය.

උපුටා ගැනීම කපිල එම්. ගමගේ ගේ මුහුණු පොතෙන්

leave a reply