Breaking News

අම්මාවරුන්ගේ දිනය කියලා වැළපෙන වැළලෙන එවුන්ට කියන්නෙ…

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

මං නං අම්මාවරුන්ගෙ දිනය දැන ගත්තෙ එෆ්.එම්. චැනල් එකකින් ඒ දිනය සමරන්න සංවිධානය කරල තිබ්බ වැඩසටහනක් ගැන ප්‍රචාරය කරපු පූර්ව ප්‍රචාරක පටියක් නිසා.තමන්ගෙ අම්ම ගැන හොඳට ම කියන එකාට ඒකෙන් තෑගි දෙනවලු.ඒ නැත්නං සකර්බර්ග් මහතා නො සිටින්න අම්මාවරුන්ගෙ දවස කියලා එකක් තියෙනවා කියලා මට නං මතක තිබ්බෙ නෑ කියලා අවංකව කියන්න ඕන.දිනයක් නැති කිසිම මළදානයක් නැති නිසා අම්මාවරුන්ටත් දිනයක් ඇති කියලා නිකමට වගේ හිතිලා තිබ්බට ඒක පෙම්වතුන්ගෙ දිනය වගේ මට නං මතක තිබ්බෙ නෑ.පෙම්වතුන්ගෙ දිනයට ඉතිං අපි 9 වසරෙ වගේ ඉඳලා ලෑස්ති වුණ නිසා මාධ්‍ය නැතත් මට නං ඒක අමතක වෙන්නෙ නෑ කියලත් අර අවංකකමෙන් ම කියන්න ඕන.

හැබැයි මුළු ජීවිත කාලෙ ම අම්මා හඹා යන පිරිමි පරාණ ටික එකතු වෙලා මව්වරුන්ගෙ දිනයෙ දි අම්මා වන්දනාවෙ යෙදෙන හැටි පෙන්නපු හැටි දැක්ක ම මව්වරුන්ගෙ දිනයෙ පොඩි වැදගත්කමක් නැතුවමත් නෑ කියලා හිතුණා.හරි හමං සංකේතීය පියෙක් නැතිව අනාථ වෙච්ච භෞතික පියවරුන් ටිකකට දාව ඉපදිලා සිමබලික් ලෝකෙට ඇතුළු වෙන්න බැරුව මව කෙරෙහි වන මනෝ – ලිංගික බැඳීමෙන් මැඩී ජීවිත කාලෙ ම අම්මා කියලා හිතා ගෙන ආදේශක හා රූපක පද්ධතියක් පස්සෙ පන්නලා රැවටිච්ච පිරිමි ටිකක් ආපහු හැරිලා අම්මා ගැන කවි ලියද්දි මට නං අප්පිරියයි.

අනෙක් කාරණය තමයි ඔය අම්මව පුම්බල උඩ අරින එවුන් ගොඩ දෙනෙක් කරන්නෙ අම්මව තව තවත් පුරුෂ කේන්ද්‍රීය කුටුම්භයේ නරා වළට ම ඇද දමන එක කියලා උන්ට නො තේරෙන එක.අම්මා මහපොළොව වගේ ය,ගමට කලින් පායන හිරු වගේ ය,සඳ එළිය වගේ ය,සාගරය වගේ ය, කිය කිය මේ මොකක්ද කියන්නෙ ?

ඔය වෙන මොකවත් නෙවෙයි අම්මා වුණා ම දුක් විඳින්න ඕන කියන එකනෙ.ඔක්කොට ම කලින් ඇහැරිලා අන්තිමට නිදා ගන්න ඕන කියන එකනෙ.කුස්සියක් නැති ගෙයක් ගැන හීනයක්වත් දකින්න බැරි පිරිමි ටිකක් එකතු වෙලා අම්මව මුරුංගා අත්තෙ තියලා ඒ ගෑනිගෙන් වහලියක් වගේ වැඩ අරගෙන දැන් එනව මෙතන කවි සින්දු ලියන්න.ඊයා ඕයි…

මේවා පිරිමි හදපු සංකල්ප ලෝක කියලා තේරෙන්නෙ නැති ෆේස්බුක් තොත්ත ගෑනු ටිකකුත් හොඳ ම කවිය ලියන්න හදනවා අම්මා ගැන.අනාගතේ අන්තිමට තමන්ටත් හප වෙලා හප වෙලා ඉතුරු වෙන්නෙ කවියක් විතර යි කියලා ඔය නංගිලා ටික දැන ගත්තොත් හොඳ යි.යකෝ ගෑනුනි, රැවටෙන එකේ සීමාවක් තියා ගනිං.

අන්තිමට බැලුව ම ඔය සෙට් එක ම අම්ම ගැන ලියනව කියලා ලියලා තියෙන්නෙ තමන් ගැන නේද කියලා හිතපං.ඒ නිසා ම ඔය කොච්චර ලිව්වත් උඹලට හම්බ නො වෙන වස්තුව අම්මා කියලත් තේරුං ගනිං.තේරෙන්නෙ ම නැත්නං Florian Zellerගෙ The Father බලපං.
අම්මට වඳින්න එපා කියලා නෙවෙයි යකෝ කියන්නෙ,අම්මලගෙ ලෝකෙ වෙනස් කරන්න බලපං.

leave a reply