Breaking News

නිරෝධායන පනත වැඩ කරන ජනතාව මර්දනයට යොදාගැනීම ගැන වෘත්තීය සමිති විරෝධය දක්වයි

කම්කරු අරගල මධයස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු කම්කරු නායකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෘත්තිය සමිති වල ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද(7) සවස කොල්ලුපිටිය CMU ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ව්‍යවස්ථාවෙන් සහතික කළ අයිතියක් ලෙස ජනතාවට විරෝධතා දැක්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් පොලිසිය යොදවා ගෙන මර්දනය ක්‍රියාත්මක කිරීම හා වැඩකරන ජනතා අයිතින් මර්දනය කිරීම එහිදී වෘත්තිය සමිති නායකයන්ගේ බලවත් විරෝධයට ලක් විය. වසංගත සමයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පිළිපැදිය යුතු නීතියක් ලෙස නිරෝධායන පනත කම්කරු විරෝධතා ඇතුළු වැඩ කරන ජනතාවගේ විරෝධාත මර්දනයට යොදාගැනීම වහා නතර කරන ලෙස ඔවුන් ආණ්ඩුවට බලකර සිටින ලදී. විශේෂයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුලු කාර්ය මණ්ඩල විසින් ක්‍රියාවට නැගිය යුතු නිරෝධායන නීතිය පොලිසිය විසින් ක්‍රියාවට නගමින් විරෝධතාකරුවන්ගෙන් පළිගැනීමක් සිදුකරන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, ඉංජිනේරු සේවා වෘත්තියවේදී සංගමය, ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය, ඉංජිනේරු සංස්ථා පරිපාලන සේවා සංගමය, ලංකා වෙලඳ හා කාර්මික පොදු සේවක සංගමය, කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ඒකාබද්ධ ගුරුසේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය, 43 සේනාංකය් වෘත්තිය සංගමය ඇතුළු වෘත්තීය සමිති හා සංවිධාන ගණනාවක් සහභාගි විය.

leave a reply