Breaking News

කොරෝනා නිසා වතු කම්කරුවන් කබලෙන් ලිපට වැටෙද්දී ‘ලංකා තේ’වලට ඉහළම ඉල්ලුමක්

ශ්‍රී ලංකා තේ හෙවත් සිලෝන් ටී සඳහා ඉතිහාසයේ ඉහළම ඉල්ලුමක් කොළඹ තේ වෙන්දේසියේදී වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා තේ මණ්ඩලය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තේ වෙන්දේසිය පවත්වනු ලැබුවේ අන්තර්ජාල වෙන්දේසියක් හරහායි.

මෙසේ විශාල තේ ඉල්ලුම ඉහළ යාමට හේතුව තේවල අඩංගු theaflavins නම් සංඝටකය කොරෝනා වයිරසයට එරෙහිව මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බවට වන මතයක් පැතිරීම බවට අදහස් පළවේ.

කුමන හේතුවක් මත ලංකාවේ තේ ඉල්ලුම ඉහළ ගියද එහි ප්‍රතිලාභ ලැබිය යුතුම කොටස වන වතු කම්කරු ජනතාව මේ මොහොතේ ඉතා අසරණ තත්ත්වයට පවත්වා සිටියි. වසංගතයක් පැතිර යන මේ මොහොතේ වතු සමාගම් වතු කම්කරු ජනතාවට පඩි සහිත නිවාඩු ලබාදීම වෙනුවට ඔවුන්ට වැඩ කරන ලෙස බල කර ඇත. එසේම තමන්ට පාඩු සිදුව ඇති පවසමින් විවිධ ප්‍රදේශවල වතු කම්කරුවන්ගේ වැටුප් සහ වැටුප් අත්තිකාරම් වතු සමාගම් විසින් කපා දැමීම දමා ඇති බව සඳහන් පුවත් වාර්තා විය.

වතු කම්කරු ජනතාවට වැඩ කිරීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය සමඟ ජනතාවගේ ආරක්ෂාව උදෙසා අත්‍යවශ්‍ය නොවන සේවා කටයුතු නවතා දමා ඒවායෙහි නිරතවූවන්ට නිවාඩු ලබා දී ඇති තත්ත්වයක් තුළයි. එයින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ජීවිත ගැන කිසිම වටිනාකමක් ආණ්ඩුවට හෝ වතු සමාගම්වල නොමැති බවයි.

එසේම අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන වතු කම්කරු ජනතාවට මේ වනතෙක් ආණ්ඩුවෙන් හෝ කිසිදු සහනාධාරයක් ලැබී නැත. වතු කම්කරු පවුල් ආශ්‍රිතව වතු වැඩවලට අමතරව වෙනත් දෛනික රැකියා හරහා ආදායම් උපයාගත් බොහෝ දෙනෙකුගේ ආදායම් අහිමිවීම තුළ නිසා මෙවැනි සහනාධාරයක් ලැබීමේ දැඩි අවශ්‍යතාවයක් පවතියි. ඊට අමතරව ප්‍රවාහන මාධ්‍ය ඇන හිටීම සහ වතු ආශ්‍රිතව පවතින වෙළඳ සල් වසා දැමීම නිසා තම ආහාර ඇතුළුව අත්‍යවශ්‍ය දේ ලබා ගැනීම ගැටලුවක් ඔවුන්ට වී පවතියි.

එහෙත් වතු සමාගම් හෝ ආණ්ඩුව මේ වනතෙක් වතු කම්කරු ජනතාවගේ ගැටලු විසඳීමට රුපියලක් හෝ වියදම් කර නැත. වතු කම්කරුවන් තම දෛනික වැටුප රුපියල් 1000න් වැඩිකරන ලෙස ඉල්ලද්දී වතු සමාගම් පැවසුවේ තමන් පාඩු ලබන බවයි. මේ මොහොතේ ආණ්ඩුවේ තේ මණ්ඩලයම වතු සමාගම් ලාභ උපයන බව පවසයි. මෙම ලාභයේ නියම උරුම කරුවන් විය යුත්තේ වතු කම්කරු ජනතාවයි. එහෙත් මෙහි ප්‍රතිලාභ යම් පමණකට හෝ වතු කම්කරු ජනතාව වෙත ලබාදෙන ආකාරයේ වැඩපිළිවෙලක් ගැන දකින්න්නට නැත.

leave a reply