Breaking News

පාර්ලිමේන්තුවේ ජනාධිපති ගේ හදිසි නීති රෙගුලාසි  ජනතාව පරාජයට පත් කළ යුතුයි.

අද පාර්ලිමේන්තුව තුළ හදිසි නීති පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතයි. 2022 ජූලි මාසේ 18 වැනිදා වැඩබලන ජනාධිපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ හදිසි නීති රෙගුලාසි ගැසට් කරනු ලැබුවේ. අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විවාදයෙන් පසුව එය සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන්ගේ සහාය මේ හදිසි නීතියට පළකරන බව ප්‍රකාශයට පත් කරනවා.ඒ  වගේම පසුගිය දවස්වල ස්වාධීන වුණා යැයි කියන බොහෝ පිරිස් මේ සඳහා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහාය පළ කරන්නට කැමැත්ත ප්‍රකාශ කරමින් ඉන්නවා.

පාර්ලිමේන්තුව අති බහුතරය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව බිල්ලට තියන්න, ජනතාව මර්දනය කරන්න, මේ පනත් කෙටුම්පත බලාත්මක කරන්න සහයෝගය දෙනවා.  රට තුළ හදිසි නීතිය සම්මත කරන්නට තරම් බරපතළ ව්‍යසනයක් ගැටුමක් යුද්ධයක් නිර්මාණය වෙලා තිබෙනවා ද?. රට තුළ උද්ගත වෙලා තිබෙන්නේ ජනතාවගේ එදිනෙදා ජීවිතය ගෙන යන්නට බැරි තරමට අර්බුද නිර්මාණය කරපු ආණ්ඩුවකට එරෙහිව ජනතාව හඬ නැගීමයි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ජනාධිපති වුණු දා සිට කල්පනා කළේ ක්‍රියා කළේ මේ ජනතා හඬ මර්දනය කිරීම සඳහාය. ජනතාව මර්දනය කිරීම වෙනුවෙන් නිර්මාණය කරපු මේ  නිර්ලජ්ජිත ලේඛනය පාර්ලිමේන්තුව තුළ බලාත්මක වුණත් රටේ ජනතාව හැටියට අපට එය පරාජය කිරීමට සිද්ධ වෙනවා, ඒ මක්නිසාද යත් මේ පනත හරහා  කරන්න සූදානම් වන්නේ ජනතාවගේ  අයිතිවාසිකම් ඉල්ලීම් හඬ මර්දනය කිරීමයි.

ජනතා විරෝධී හදිසි නීති රෙගුලාසි පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය සාකච්ඡාවක් තියමින් පැහැදිලි කිරීමක් කළා. අද දින මේ සම්මත කර ගන්නට සූදානම් වන හදිසි නීති රෙගුලාසි හරහා නින්දිත ලෙස ජනතාව මර්දනය කිරීමට අවශ්‍ය කරන නීතිමය රාමුව පාර්ලිමේන්තුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සූදානම් වන බවත් එය ජනතාව විසින් පරාජයට පත් කළ යුතු බවත් මෙම මාධ්‍ය හමුවේ දී පුබුදු ජයගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

leave a reply