Breaking News

කොළඹ පිහිටි වටිනා ඉඩම් රැසක් පෞද්ගලික සමාගම්වලට විකිණීමේ සැලස්මක්

කොළඹ නගරයේ පිහිටි ඉහළ වාණිජ වටිනාකමකින් යුතු වටිනා ඉඩම් රජයට පවරාගෙන එම ඉඩම් විවිධ සමාගම් වෙත විකිණීමේ උත්සාහයන් වසර කිහිපයක සිට නිරන්තරයෙන් වාර්තා වෙමින් තිබේ.

මින් පෙර, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කොළඹ ගාලු මුවදොර පිටිය යාබද යුද හමුදා මූළස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට පවරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ පාලනය බලයට පැමිණ කෙටි කලකින් ඊට යාබද තවත් අක්කර 3ක ඉඩමක් විදේශ සමාගමකට පවරා දෙන ලදී. මැනින් වෙළඳ සංකීර්ණය පෑළියගොඩ වෙත ගෙන යාමෙන් පසුව එම ඉඩම සමාගම් කිහිපයකට පවරා දෙන සැලැස්මක් ඇති බව අනාවරණය විය.

මේ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයට අයත් ඉඩම් මෙන්ම වැලිකඩ බන්ධනාගාරය පරිශ්‍රය ඉවතට ගෙන ගොස් එම ඉඩම්ද වානිජ වටිනාකම මත සමාම්වලට පැවරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

අද දිනයේ වාර්තා වූ ප්‍රවෘත්ති කිහිපයකින් කියවුණේ රජයට අයත් ඉඩම්, රජයට අයත් නොවන ඉඩම් විවිධ ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමේ සූදානමක් ඇති බවයි.

ඉන් එකක් ලෙස රථ ගාලක් ඉදිකිරිම සඳහා බව පවසමින් කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයට අයත් හා ඊට යාබදව පිහිටි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් ජනාධිපතිවරයා විසින් රජයට පවරාගෙන ඇතැයි ‘අනිද්දා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පවරා ගැනීම කර ඇති අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීමේ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 19 වැනිදා සහිතව අංක 2228/27 යටතේ නිකුත් කර තිබේ.

මෙම නාගරික සංවර්ධන කටයුත්ත යටතේ එම පවරා ගන්නා ඉඩම්වල බහු මහල් රථ ගාලක් ඉදිකිරීමට යෝජිත බව සඳහන් කර ඇති අතර ඒ සඳහා පවරා ගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය රූඩ් 2යි පර්චස් 20ක් හෙවත් හෙක්ටයාර් 0.2530කි.

ඩීඑස් සේනානායක විද්‍යාලය, ශ්‍රී බෞද්ධාලෝක විහාරය හා ඒ අසල ඇති මහාමාර්ගයේ ඇති ඉඩම්වල කොටස් මෙම පවරා ගන්නා ඉඩමට අයත්වේ.

පවරා ගත් ඉඩමට අදාල දළ සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ නගර නිර්මාණ ශිල්පිනී ශානිකා සුමනපාල සහ ඉඩම් කළමනාකරු වජිර දිසානායක සකස් කර ඇති බවද එම අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

කොළඹ දේවි බාලිකා විද්‍යාලය ද වෙනත් පෙදෙසකට ගෙන යාමට උත්සාහ කරමින් සිටින බව පසුගියදා වාර්තා විය. එම තීරණයට විරුද්ධව මේ වනවිට ශිෂ්‍ය සංවිධාන සහ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලිකත්වයෙන් අරගලයක්ද දියත්වෙමින් තිබේ.

ඊට අමතරව පොලිස් මූලස්ථානය අත්තිඩිය ප්‍රදේශයට මහජන ආරක්ෂාව පිළිබද ඇමති විසින් ඉල්ලා තිබූ කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද දිනයේ වාර්තා විය.

දැනට පොලිස් මුලස්ථානය පවත්වා ගෙන යන කොළඹ චෛත්‍යපාරේ පිහිටි ගොඩනැගිල්ල වසර 100කට වඩා පැරණි බවත් එහි ඉඩ ප්‍රමාණවත් නොවන බවත් කැබිනට් යෝජනාව ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක ඇමතිවරයා පවසා තිබේ.

එසේම කොළඹ නගරයේ හා පිටත පිහිටි ඉතා ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් රැසක් එස්පීවී සමාගම් (Special Purpose Vehicle) යටතට පත්කර ආයෝජන ව්‍යපෘති සඳහා ලබාදීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි ව ඇත. මෙම යෝජනාව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021-05-05 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදෙන දේපළ වන්නේ,

කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
යෝර්ක් ගොඩනැගිල්ල
ගෆූර් ගොඩනැගිල්ල
විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල
කොළඹ මහ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය
ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හල පිහිටි භූමිය
වොටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය
යාපනය, කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
කොළඹ හිල්ටන් හෝටලය සහ ක්‍රීඩා සංකීර්ණය
අරලියගහ මන්දිරය ඉදිරිපිට ඉදිව ඇති ග්‍රෑන්ට් හයට් හෝටල් සංකීර්ණය

මේ සම්බන්ධයෙන් නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ සඳහන් වන්නේ 2020 මාර්තු මස 06 වන දින ලද කැබිනට් අනුමැතිය මත ඌන සංවර්ධිත ව්‍යාපෘති නැවත ප්‍රතිසංවර්ධනය වෙනුවෙන් පිහිටුවනු ලැබූ මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වන නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුත් Selendiva Investments (Pvt) Ltd ආයතනය වෙත ඉහත දේපළ පැවරනු ලැබ ඇත. ඒ් අනුව අදාළ දේපළ වෙනුවෙන් ආයෝජන හඳුනාගැනීම , ආයෝජන පහසුකම් සැලසීම වෙනුවෙන් ආකෘතියක් සැකසීම, සහ ඒ් අනුව ක්‍රියාත්මක වීමේ බලය ඉහත කැබිනට් පත්‍රිකාව මගින් Selendiva Investments Ltd වෙත පවරා ඇත.ඌන සංවර්ධිත දේපළ බවට නම් කොට ඇති මෙකී දේපළ ඒ්කාබද්ධ කොට සකසනු ලැබූ නව සමාගම්වල ආයෝජනයට ඉදිරිපත්වන ආයෝජකයින් සඳහා උපාය මාර්ගික සංවර්ධන පනතේ සඳහන් බදු සහන ඇතුළු සියලු ආයෝජන දිරිගැන්වීම් පිරිනැමීමට ද අගමැතිවරයා අදාළ කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබා ගෙන ඇත.

වරාය නගර පනත සම්මත වූ වහාම මෙකී කැබිනට් පත්‍රිකාව හදිසියේ අනුමත කර ගැනීම මහත් සැකයට තුබු දෙන බව මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශපාලන විශේලේෂකයන් පෙන්වා දෙයි. එසේම මෙම දේපොළ බොහොමයක් කොළඹ වරාය නගරය රට සමග යා කෙරෙන භූමියේ පිහිටා තිබීම හරහා මෙම ඉඩම්ද වරාය නගරය හා යකිරිමේ අරමුණක් ඇති බවට මතපලවෙමින් තිබේ.

leave a reply