Breaking News

හමුදාවේ සහාය ඇතිව මුලතිව් දෙමළ පුදබිමක බුද්ධ ප්‍රතිමාවක් ඉදිකරයි

මුලතිව් කුරුන්තූර්මලෙයි ප්‍රදේශයේ ඉපැරණි දෙමළ පුදබිමක් තිබූ ස්ථානය අත්පත් කර ගැනීමේ තවත් උත්සාහයක් ලෙස ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව නව බුද්ධ ප්‍රතිමාවක් පූජා කිරීමේ උත්සවයක් අද පැවැත්වේ.

කබොක් ගලෙන් නෙළන ලද බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කෙරෙන මෙම උත්සවයට ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු දකුණේ සිංහල ජනතාව විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තන්නිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි දෙමළ ජනතාව ඓතිහාසික පුදබිමක් වන අති අයියනාර් කෝවිල, පසුගිය වසර කිහිපය පුරාවටම සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේගේ දැඩි ඉඩම් කොල්ලකෑමේ ප්‍රයත්නයන්ට ගොදුරු විය. ඔවුන්ගේ මෙම උත්සාහයන් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර මෙම පුදභූමිය තුළ කිසිදු වෙනසක් සිදු කළ නොහැකි බවට 2018 දී අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. බෞද්ධ භික්ෂූන් වහන්සේට එම ප්‍රදේශය සමීක්ෂණය කිරීමට ඉඩ දීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිය බලය අයුතු ලෙස භාවිත කර ඇති බවද අධිකරණය ප්‍රකාශ කරන ලදී.

2021 ජනවාරි මාසයේදී, උසාවි නියෝගයක් නොතකා ශ්‍රී ලංකාවේ ‘ජාතික උරුම’ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක විසින්, හමුදා සෙබළුන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ, කුරුන්තූර්මලෙයිහි දී, අති අයියනාර් විහාරස්ථානයේ නව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර, අභිෂේක කිරීමේ උත්සවයක් පවත්වන ලදී. එතැන් පටන් ශ්‍රී ලංකා හමුදාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශයේ දෙමළ ජනයා බිය ගන්වා එම ප්‍රදේශයට ඇතුළුවීම ඔවුන්ට තහනම් කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් සහ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිකරන් විසින් කැණීම් කටයුතු නතර කරන ලෙසට අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙසට නඩු ගොනු කර තිබේ. කෙසේ වෙතත්, මෙම නියෝගය තවමත් ලබා දී නොමැත.

2009 වසරේ සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් “කැණීම් සඳහා නියෝග කර ඇති අතර, කුමන විරුද්ධත්වයක් එල්ල වුවත් ඓතිහාසික දෙමළ පුදබිම් සහ පෞද්ගලික දෙමළ ඉඩම් තුළ බෞද්ධ ව්‍යුහයන් ස්ථාපනය කිරීමට දිස්ත්‍රික් බලධාරීන්ට උපදෙස් දී ඇති” බව, People for Equality and Relief in Sri Lanka (PEARL) හි මෑත වාර්තාවක පෙන්වා දෙයි.

බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම සඳහා දෙමළ සහ මුස්ලිම් ආගමික ස්ථාන විනාශ කර පවරා ගනිමින් උතුරු-නැගෙනහිර බෞද්ධකරණයට ලක් කිරීම සාධාරණීකරණය කිරීමට රජය කටයුතු කර ඇති ආකාරයත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ න්‍යාය පත්‍රයට අනුබල දීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉඩ සහ අධිකාරිය ලබා දී ඇති ආකාරය පිළිබඳව ත් මෙම සංවිධානය සඳහන් කරයි.

ඉංග්‍රීසි මුල් සටහන උපුටා ගැනීම – Marisa DS

leave a reply