සිතන්නට යමක් – 06

පොදු ප්‍රවාහන සේවා සහ අපි

ගමනක් බිමනක් යෑම සඳහා පෞද්ගලික වාහනය හෝ අවම වශයෙන් ත්‍රීරෝද රථයක් ගෙන්වා ගැනීමට හැකි වූ “පහසු” කාලයක් අප ගෙවා පැමිණ ඇත. ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින ඔබ මා මෙන් බහුතරයකට දැන් ඒ “පහසුව” අපහසුවකි.

ඉදින්, පොදු ප්‍රවාහන සේවාවල පිහිට අපට වඩ වඩාත් අවශ්‍යම කාලයකි මේ. කතා කළ යුතුම වුවත්, ඒවායේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අද කතා නොකරමි.

පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන අප ඒ පිළිබඳ දක්වන සැලකිල්ල කෙතරම් ද?

බස් රථයකට හෝ දුම්රියකට ගොඩවූ තැන් පටන් ඔබ එතුළ වන පරිසරය සිහිපත් කර බලන්න.

01. බුලත්විට කමින් වීදුරුවෙන් පිටතට කෙළ විදින අය.

02. ඉදිරිපස අසුන මත තම දෙපා තබාගෙන යන අය.

03. බස් රියට/දුම්රියට ගොඩවන සංචාරක වෙළෙඳුන්ගෙන් මිලදී ගන්නා වතුර බෝතල් හා නොයෙක් කෑම වර්ග කැමෙන් බීමෙන් පසු එහි ඉතිරිය මල්ලද සමග රථයේ බිම හෝ වීදුරුවෙන් පිටතට දමන අය.

04. අසුනේ සිටින්නේ තමා පමණක්ම යැයි සිතා අනෙක් අයට අපහසු වන ලෙස හරි බරි ගැසී වාඩි වන අය.

කොතෙක් නම් ඔබ දැක ඇත්ද…

මෙයින් එකක් හෝ දුටුවිට ඔබට ඊට එරෙහි වන්නට සිතුනාද…?

පිළිතුර “නැත” යන්න නම්,
“ඔබ බොහොම සාමකාමී පුද්ගලයෙකි”

එහෙත් එවැනි පුද්ගලයන් කිසිදා සමාජ සංවර්ධනයට දායක වන්නේ නැත.

මා ඔබට යෝජනා කරන්නේ, අනෙකා සමග ගැටුමක් නිර්මාණය කර ගැනීමට නොවේ. එහෙත්, වැලැක්වීමට හැකියාව තිබියදීත් අනෙකාට හෝ පරිසරයට හානිදායක වන දෙය සිදුවන තුරු බලා සිටීම යහපත් දෙයක් නොවේ.

” කුණු තිබෙන තැනටම කුණු එකතු වේ ” මෙය ඔබ මීට පෙර අසා ඇතුවාට සැක නැත. අප බොහෝ විට ඉවත දැමීමට අවශ්‍ය දෙයක් කුණු ගොඩක් දුටුවිට දමා යාම සිරිතකි. නමුත් පළමු කසල බිඳ යම් තැනකට එක් කිරීමට මැලි වනවා නොවේද?

රථයක ගමන් කරන අතරතුර මාර්ගයට විසි කරන කසල මල්ල ( ලොකු හෝ කුඩා වූවද ) එතැන කුණු ගොඩක් නිර්මාණය කිරීමට මුල්විය හැකි නොවෙද?

එසේම පුරුද්දට හෝ කම්මැලි කමට බුලත් විට කන අය කිසිත් වග විභාගයකින් තොරව රථයේ වීදුරුවෙන් පිටතට කෙළ ගසද්දී ඒ කෙළ පහර පාරේ ගමන් ගන්න අයෙකුගේ ඇඟට මෙන්ම සුළං පහර ඔස්සේ පසුපස අසුන්වල මගීන් වෙතද පැමිණීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිය. සිතන්න ඒ කුමන අවස්ථාවක වුවද, ඇතිවන අප්‍රසන්න තත්ත්වය කෙබඳු විය හැකිද?….

එසේම, අන් අයට අපහසුවක් වන ලෙස අසුනේ හරි බරි ගැසී වාඩිවන අයද, ඉදිරිපස අසුනේ කකුල් තබාගෙන යන අයද සිදු කරන්නේ අප්‍රසාදය පළ කළ යුතු ක්‍රියාවකි.

මෙවන් අවස්ථාවක ඊට එරෙහි වීමට හා එසේ නොකරන ලෙස අදාල පුද්ගලයා දැනුම්වත් කිරීම ඔබගේ සහ මගේ වගකීමයි.

පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන අප සදාචාර සම්පන්න වීම අනිවාර්යය වේ. නොදන්නාකම හෝ නොසැලකිලිමත් බව හේතුවෙන් පරිසරයට හෝ මගීන්ට සිදුවන හානිය වෙනුවෙන් විරෝධය පෑමට දෙවරක් නොසිතන්න. ඔබ මා සුළු කොට තකන දෑ දිනෙක මහා ව්‍යසන බවට පත්විය හැක. එතෙක් අප බලා සිය යුතු නැත.

මදක් සිතන්න…..

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...