Breaking News

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන නිදහස් අධ්‍යාපන සම්ප්‍රදායට එරෙහි බරපතල තර්ජනයක්

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙස අප මෙරට දීර්ඝකාලීන නිදහස් අධ්‍යාපන සම්ප්‍රදායට බරපතල තර්ජනයක් මතු කරනු ලබන ආණ්ඩුව විසින් යෝජිත නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සම්බන්ධ අපගේ බරපතල විරුද්ධතාවය ප්‍රකාශ කොට සිටිමු. මෙම ප්‍රතිපත්ති රාමුවේ අරමුණ වන්නේ අධ්‍යාපනය සම්බන්ධ රාජ්‍ය වගකීම ඉවත් කරගැනීම, රාජ්‍ය අධ්‍යාපනයට සිදු කරන මුදල් වෙන් කිරීම් අඩු කිරීම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීම ඇතුලු අධ්‍යාපනය වාණිජකරනය දිශාවට ගනු ලබන ක්‍රියාමාර්ග තුලින් රටේ අධ්‍යාපන පද්ධතිය අවසාන වශයෙන් ලාභ ලබන පද්ධතියක් බවට පරිවර්තනය කිරීමය.

මෙම යෝජිත ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ සුබසාධනය වෙනුවට ලාභ අපේක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙයි. විශ්ව විද්‍යාල මට්ටමේ දී ගාස්තු අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම සහ උසස් අධ්‍යාපනයට කරනු ලබන රාජ්‍ය වියදම කප්පාදු කිරීම තුල, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නිදහස ලැබූ අවස්ථාවේ සිට මෙරට සමාජ රටාවේ කේන්ද්‍රීය ලක්ෂණයක් වී පැවැති අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය නම් වූ මූලධර්මය බරපතල ලෙස දුර්වල කරයි.

තවද, ආර්ථිකමය ලෙස වැදගත් ලෙස සම්මත විෂයන් පමණක් කෙරෙහි අවධානය යොමු කිරීම තුලින් අධ්‍යාපනයේ පලල් පරමාර්ථ වන විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම හා අධ්‍යාපනයේ සමාජයීය කාර්යභාරය හෑල්ලු වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ මෙම පටු ප්‍රවේශය නිසා පවතින සමාජ විෂමතා උග්‍ර වීමටත්, ඒවා දිගටම පැවැතීමටත් පසුබිම සැකසෙනු ඇත. එමෙන්ම යෝජිත ප්‍රතිපත්ති රාමුව ලංකාව ද පාර්ශවකරුවෙක් වන අන්තර්ජාතික සම්මුතීන් තුළ පිලිගත් නිදහස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනය සඳහා සාධාරණ ප්‍රවේශය සහතික කිරීම, හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නියාමනය කිරීමේ හා ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම බඳු වූ මූලධර්ම උල්ලංඝණය කිරීමට හේතු වේ.

යෝජිත ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය විනාශමුඛයට යැවීම සඳහා හේතු වනු ඇති අතර, මුදල් ගෙවීමේ හැකියාව නොසලකා පුරවැසි අයිතියක් ලෙස අධ්‍යාපනය ලැබීමට මෙරට ජනතාවට තිබෙන අයිතිය අහිමි කිරීමට හේතු වනු ඇත. අධ්‍යාපන පරිපාලනය, අරමුදල් සම්පාදනය, ප්‍රමිතිකරණය හා කලමණාකරනය යන සියලු අංශවල පුලුල් වෙනස්කම් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව විසින් නිර්දේශ කරයි.

මෙම අභියෝගය හමුවේ, ශිෂ්‍ය සංගම් හා සිවිල් සමාජයේ අනෙක් සංවිධානයන් ද ඇතුලත්ව, සියලු පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහි පලල් විරෝධතාවයක් ගොණු කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කොට ඇත. මෙම යෝජිත ප්‍රතිපත්ති රාමුව ඉවත් කරගන්නා ලෙසටත්, වෙලඳපොල බලවේගයන්ගේ නොව රටේ පොදු ජනතාවගේ යහපත කෙරෙහි ප්‍රමුඛතාවය දෙන ලෙසටත් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

මෙරට නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව සඳහා අප විසින් කරගෙන යන මෙම අරගලයට සම්බන්ධ වන ලෙසට අප මෙරට පුරවැසියන්ගෙන් ද ඉල්ලා සිටිමු. අප එක්වුවහොත්, සමාජ ආර්ථික පසුබිම නොතකා, සියලු පුරවැසියන්ට භුක්ති විඳිය හැකි මූලික අයිතිවාසිකමක් ලෙස අධ්‍යාපනය ආරක්ෂා කරගත හැකි වනු ඇත. අවසාන වශයෙන්, යෝජිත ප්‍රතිපත්ති රාමුව වහාම හකුලා ගන්නා ලෙස දැඩි ලෙස ඉල්ලා සිටින අපි, අධ්‍යාපනය බඳු වැදගත් විෂයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන විට, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම හෑල්ලු නොවන ලෙස කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු බවට ද සිහිපත් කොට සිටිමු.

leave a reply