Breaking News

ඔන්ලයින් ඉගැන්නිල්ල

එක් පන්තියක සිසුන් තිස් පහකි.හතළිහකි.හැම දිනකම පාහේ මාර්ගගත ( online ) ක්‍රමයට උගන්වන පන්තියට සහභාගී වන දරුවන් ගේ සාමාන්‍යය පහළොවකි.අද එන දරුවා හෙට නැත.සමහර දරුවන් දකින්නේම සතියකට වතාවක් පමණි.ඇතැමුන් එසේ ද නැත.
ඊයේ දිනයේ මගේ පන්තියට දියණියක් සහභාගී වූයේ පාඩම පටන් ගෙන විනාඩි හතලිහකටත් පසුවය.
ඇයි පුතේ පරක්කු වුණේ..මම ඇසීමි.
ටීචර් ඩේටා ඉවර වෙලා…අම්මා පාරට ම ගිහින් කාඩ් එකක් අරන් ආවේ..
ඇය කීවාය.

සිය කැමැත්තෙන් කැමරාව ක්‍රියාත්මක නොකරන කිසිම දරුවෙකුට එසේ කරන්න යැයි මම කිසිම විටෙක නොකියමි.එයට හේතුවක් තිබේ.
මර්ගගත ක්‍රමයට පන්ති පැවැත්වීම ඇරඹි මුල් සමයේ මගේ පන්තියේ සිටි පුතෙක් තම ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කරගෙනම මා කියනා දේ අසා සිටියේය.

දැන් මට ඒ දරුවා අවට පරිසරය හොදින් පෙනේ.උඩු කයට කමිසයක් වත් ඇඳ නැති තාත්තා කෙනෙකි.විටින් විට මහ හඬින් මොනවාදෝ කියමින් ඔහු බිම වැතිර සිටියි.ගෙබිම තැනින් තැන සෙමෙන්ති පදාස පිටින් ගැළවී ගොස් ය.ඔහු බීමතින් බව වටහාගන්නට මා හට වැඩි වේලාවක් ගියේ නැත.
දුක හිතෙනම කාරණාව වූයේ දරුවා අසළම ප්ලාස්ටික් පිඟානක ඇති ඔහුගේ බත් පත දැකීමෙනි.එහි බත් මිටක් ,තවත් එක් එළවලුවක් සහ කොළ මැල්ලුමක් තිබෙනු දුටිමි.

එදා සිට කිසිඳු දිනයක පාඩම කරද්දී කැමරාව ක්‍රියාත්මක කරන්නැයි මම නොකියමි.දරුවන් නොදැක ඉගැන්වීම කෙතරම් අපහසු වුවත් , කිසිම විටෙක දරුවා අපහසුතාවයට පත් නොකරමි.
ඉකුත් දිනයක පාඩම අතර තුර මට දියණියකගෙන් ආ කෙටි පණිවුඩයකි.
අනේ ටීචර් මගෙ ඩේටා ඉවර වෙනවා තව ටිකකින්..ටීචර් දිගටම පාඩම කරනවද?
එහි එසේ ලියා තිබිණි.
ඇය කියන්නේ ඇයට තව දුරටත් පාඩම ඉගෙන ගන්නට ඕනෑ බව නොවේද..
ඒත් මේ අසරණ වීම් මොන තරම් ඛේදවාචකයක් ද..
එක දිගටම පඩම් සඳහා සහභාගී නොවූ පුතෙක් ට පසුගිය දා මම දුරකතනයෙන් ඇමතීමි..
පුතේ ඇයි පන්ති වලට එන්නෙ නැත්තෙ?
ඔහු නිහඬය.
මම තව බොහෝ දේ ඇසීමි.
Phone එකක් නෑ මිස්.තාත්තා ළග තියෙන්නේ පොඩි phone එකක්..ඒකෙන් zoom එන්න බැහැ මිස්..
ඔහු වචන අහුල අහුලා කියයි.
මම නිරුත්තර වීමි.
අම්මා සමඟ කෑම කඩයක වැඩට අත් උදව් දෙන,තාත්තා අහිමි දියණියක් මම දනිමි.ඒ දියණියත් ,අම්මාත් ජීවත් වන්නේ ඒ කඩය පිටුපස පුංචි කාමරයකය.
දිනක් මා එම කඩයට ගොඩවීමි.ඇය මා අසළට ආවේ නැත.මම ඇය ළගට ගියෙමි.
පුතේ…
දැලි ගෑවුනු, තැනින් තැන තෙත් වුණු ඇයටත් වඩා ලොකු ගවුමක් ඇඳ සිටි ඇය ඒ ගවුමෙන් ම අත පිහදාමින් මා ඉදිරියේ බිම බලාගෙන සිටියි.
පුතේ…
Online පන්ති එන්නේ නැත්තෙ ඇයි කියා මම ඇගෙන් නොවිමසීමි.
කියනවා නම් කියන්නට මෙවැනි සිදුවීම් අපමණය.දරුවන් ගේ අපහසුතා ,අවශ්‍යතා ගැන ඇසිය යුත්තේ ගුරුවරුන්ගෙන් ය.නොඅසන්නේ ද ගුරුවරුන්ගෙන්මය.
මේ ගෙවෙන්නේ රටක් හැටියට අසීරුම මොහොතක් බව ඉඳුරාම දනිමි
තත්ත්වය කෙතරම් බරපතල වුවත්, දරුවන් ගේ අධ්‍යාපනය දෙවෙනි තැනට දමන්නට නොහැකිය.එය ප්‍රමුඛ කාර්‍යයක්මය.
කුමන තත්ත්වයක්දී වුව දරුවන් ට අසීරුවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණය සැකසීමට පාලකයෝ බැඳී සිටිති .එය වගකීමකි.වගවීමෙන් ඉටු කළ යුතු වගකීමකි.
දරුවන් ට මාර්ගගත ක්‍රමයට ඉගෙන ගන්නට අවශ්‍යය අවම පහසුකම් වත් සපයන්නට පාලකයින්ට හැකි නම් එය මොනතරම් වටිනා කටයුත්තක් ද.එදා වේල කන්නට බත් ඇටයක් හොයා ගන්නට දුක් විදින අම්මා තාත්තලාගේ අහිංසක දරු පැටවුන් දුප්පත්කමේ ශාපයෙන් දැන්වත් මුදවාලිය යුතු නොවේද.
.මේ අසීරුතා මැදත් එක තත්පරයකදී නාස්ති වන,අවභාවිතා වන රාජ්‍ය මුදල් කන්දරාව කොපමණදැයි වැටහීමක් ජනතාවට තිබේ.
ඒවාගෙන් අංශු මාත්‍රයක් රටේ දරුවන් වෙතට විතැන් කරන්නට ක්‍රමවේද සකස් විය යුතු කාලය පැමිණ තිබේ.
අධ්‍යාපනය දරුවන්ගේ අයිතියකි.

  • සංජීවනී දහනායක –

leave a reply