Breaking News

සර්ව පාක්ෂික සමුළුවේදී IMF වාර්තාව ගැන රනිල් සහ බැසිල් ගැටුමක්

අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර වචන හුවමාරුවක් සිදු විය.

හිටපු අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කෙටුම්පත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ මෙම බහින්බස්වීම ඇතිවිය.

“මට ඔබට කෙටුම්පත ලබා දෙන්න බැහැ,” මුදල් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සඳහා නැවත නැවතත් කළ ඉල්ලීම් රජය විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසූ රනිල් වික්‍රමසිංහ, බොහෝ දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට හේතුව මෙය බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව ශ්‍රී ලංකාවට ලැබී නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම වාර්තාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ බව තමාට දැනුම් දුන් බවයි.

ශ්‍රී ලංකාවට ලැබුණේ කෙටුම්පතක් බවත්, ඊට රජය සිය අදහස් එක් කරන බවත් අවසන් වාර්තාව නිකුත් කරන්නේ IMF මණ්ඩල අනුමැතියෙන් පසුව බවත් අවශ්‍යනම් එම කෙටුම්පතේ පිටපතක් ලබාදිය හැකි බවට බැසිල් රාජපක්ෂ පවසා සිටියේය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, “මට දෙන්න එපා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න” යනුවෙනි.

leave a reply