Breaking News

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ගෝඨාභයට විරෝධය දක්වයි

අදහස් දැක්වීමේ, විරෝධය පල කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ අයිතිය උදුරාගනිමින් සිදු කරන ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය සහ තවත් වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ආචාර්යවරුන්, කලාකරුවන් එක්ව ඒකාබද්ධ ප්‍රශ්නයක් ජනාධිපතිවරයාට අද යොමු කරන ලදී.


ගෝඨාභය රාජපක්ෂ මහතා,
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලූ මුවදොර,
කොළඹ 01.
2020.04.19

ජනාධිපතිතුමනි,

කොරෝනා වසංගතයට මුවා වී ආණ්ඩුව විසින් භාෂණයේ, ප්‍රකාශනයේ හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය උදුරාගැනීමට විරෝධය පල කිරීම පිණිසයි.

කෝවිඩ් 19 වෛරසය ලොව පුරා ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි කරමින් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. අප රට තුළ ද තවමත් එහි අවදානම පහව ගොස් නැත. සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුළු පිරිස් මෙම වසංගතය මැඩ පැවැත්වීමට විශාල කැප කිරීමක් කරමින් සිටී. සියලූම ජනතාවට ද සාමාන්‍ය දිවි පැවැත්ම කැප කරමින් විවිධ අසීරුතා දරාගනිමින් වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත. මෙවැනි වසංගත අවස්ථාවකදී එය මැඩ පැවැත්වීමට නම් සියලු ක්ෂේත්‍ර වල සාමූහික ප්‍රයත්නයක් අත්‍යවශ්‍ය බව අවිවාදිතය. ඒ වෙනුවෙන් අප සියලු දෙනාටම වගකීමක් ඇත. එහෙයින් හැකි සියලුම ආකාරයෙන්, මේ මොහොතේත් අප එම වගකීමට සමාජයක් ලෙස උරදෙමින් සිටිමු.

නමුත් ඒ සියලු කැප කිරීම්, වගවීම් මැද වෙනත් සූක්ෂම දේශපාලන හස්තයක්ද ආණ්ඩුව විසින් ක්‍රියාවට යොදවා ඇත. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නන්, විවේචනය කරන්නන්, විරෝධය දක්වන්නන් අත්අඩංගුවට ගෙන නිහඬ කිරීමේ යාන්ත්‍රණයක් දියත් වෙයි. ආසන්න කාලය තුළ එවැනි අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම වාර්තා විය. සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනයට ලක් කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණ. මහනුවර දොලුව ප්‍රදේශයේ සහනාධාර ඛෙදාදීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවකට විසඳුම් ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයක් සංවිධානය කළේයැයි තරුණයකු පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙක් සහනාධාර ඛෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලදී. ජාතිවාදයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ තම අදහස් ප්‍රකාශ කළ සමාජ ක්‍රියාකාරිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර විශාල ප්‍රාග්ධනයක් සහිතව කටයුතු කරන රාජ්‍ය හා පුද්ගලික අංශවල මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ආයතන ඔස්සේ ආණ්ඩුව තම දේශපාලන අදහස් ජනතාවගේම ගුවන් කාලය යොදා ගනිමින් බලහත්කාරයෙන් සමාජය මත පටවමින් සිටී. අදාළ මාධ්‍ය ආයතන හරහා මේ මොහොතේ ද සමාජය නොමඟ යවනසුළු බරපතල අසත්‍ය ප්‍රචාර ජනතාව වෙත මුදා හරිමින් සිටියි. එවන් මාධ්‍ය ආයතන විසින් ජාතිවාදය වපුරමින් සිටින්නේ ද රාජ්‍ය අනුග්‍රහය සහිතවය.
අප්‍රේ්ල් 01 දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය මඟින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර රටේ සාමාන්‍ය නීතියත් ඉක්මවා යමින් භාෂණයේ, ප්‍රකාශනයේ හා විරෝධය පල කිරීමේ අයිතිය එමඟින් ද බරපතල ලෙස සීමා කෙරිණි. භාෂණයේ, ප්‍රකාශනයේ, විරෝධය පලකිරීමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතිහාසයක් පුරා ලංකාවේත් සමස්ත ලෝකයේත් ජනතාව අරගල කරමින් දිනාගත් අයිතීන් වෙයි. පවතින වසංගත තත්ත්වය භාවිතා කරමින් ආණ්ඩුව එම මූලික සමාජ අයිතිවාසිකම් උදුරාගැනීමේ වැඩපිළිවෙළකට එළඹ තිබේ. පවතින වසංගත තත්ත්වය හමුවේ සමාජයට ඇත්ත පැවසීම හා ඇත්ත ලිවීම සියලු පුරවැසියන් සතු වගකීමකි. පසුගිය කාලයට අදාළව වගකීම් විරහිතව කටයුතු කළ පුද්ගලයින් කිහිප දෙනෙකුම අපි දුටිමු. නමුත් එවැනි වගකීම් විරහිත පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය නිසා සමස්ත සමාජයකට ඇති අයිතියක් උදුරාගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ආණ්ඩුව මෙම වසංගතයට මුවා වෙමින් සිදුකරන භාෂණයේ, ප්‍රකාශනයේ, විරෝධය පලකිරීමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග වහා හකුළාගත යුතු බවට අප බල කර ප්‍රකාශ කර සිටිමු.

එහෙයින් කොරෝනා වසංගත තත්ත්වය මැද ඉතාම සැලසුම් සහගතව භාෂණයේ, ප්‍රකාශනයේ, විරෝධය පලකිරීමේ මූලික අයිතීන් උදුරා ගනිමින් සමාජයක් නිහඬ කිරීමට ගන්නා ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව අප මෙලෙස ඒකාබද්ධව විරෝධය පල කරන්නෙමු.
මෙයට,


• අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.
• අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය.
• අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව.
• ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමය.
• එක්සත් කම්කරු සම්මේලනය.
• ලංකා වතු සේවා සංගමය.
• ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය.
• සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය.
• කම්කරු අරගල මධ්‍යස්ථානය.
• රක්ෂණ සේවක සංගමය.
• රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය.
• ලංකා ගුරු සංගමය.
• ඒකාබද්ධ ගුරු සේවා සංගමය.
• පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය.
• ලංකා ගුරු සේවා සංගමය.
• අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය.
• ස්වාධීන ලංකා ගුරු සංගමය.
• ප්‍රගති ගුරු සංගමය.
• මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.
• ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
• ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය.
• තරුණ නීතීඥ සංගමය.
• සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය.
• සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය.
• සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
• ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය.
• ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය.
• ප්‍රැක්සිස් සාමූහිකය.
• එක්සත් සමාජවාදී පක්ෂය.
• පෙරටුගාමී සමාජවාදී පක්ෂය.
• සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනී.
• ජගත් මනුවර්ණ, රංගන ශිල්පී.
• ජෙහාන් අප්පුහාමි, රංගන ශිල්පී.
• අසංක සායක්කාර, නාට්‍ය අධ්‍යක්ෂක.
• නාගොල්ලාගම ධර්මසිරි ඛෙනඩික්, ප්‍රවීණ කිවි.
• කල්පනා මාලතී ඇම්බ්‍රෝස්, ප්‍රවීණ කිවි.
• ලක්ෂාන් මධුරංග, ප්‍රවීණ කිවි.
• කපිල ගමගේ, ප්‍රවීණ කිවි.
• ප්‍රියංකාරගේ බන්දුල ජයවීර, ප්‍රවීණ කිවි.
• සුදන්ත මාධව ප්‍රනාන්දු, ගායන ශිල්පී.
• උපාලි ගම්ලත්, සිනමාවේදී.
• ආචාර්ය හරිනි අමරසූරිය.
• ආචාර්ය ෂාමලා කුමාර්.

leave a reply