Breaking News

නටන තරුවකට පණ දෙන්න..

කුසල් කුරුවිට

මේ කාලෙ මනෝවිශ්ලේෂණය ගැන කතා එතරම් වැදගත් නැත. මන්දයත් මනෝවිශ්ලේණයට අවශ්‍ය කොන්දේසි සැලකිය යුතු ලෙස බිදවැටී ඇති බැවිනි. අවිඥානය යනු එහි ප්‍රදානම අධ්‍යන වස්තුවයි. නමුත් සගවාගෙන සිටින යටපත් කරන ලද අවිඥානයක් සහිත මිනිසුන් හිටියේ දළ වශයෙන් මීට වසර 30කට කලින් ය. නැත්නම් ඉතා ම මෑත කාලයට ගොස් ෆේස්බුක් සොයා ගැනීමට සංඛේතීයව එය සම්බන්ධ කළ හැකි ය. අවිඥානය පවතින්නේ මර්දිත සමාජවල දැන් අප ජීවත් වන සමාජය මර්දිත සමාජයක් යැයි අපට එකවර ප්‍රකාශ කළ නොහැකි ය. අද අපට හැම තැනින් ඇසෙන්නේ නිදහස් වෙන්න නිදහස් කරන්න යන තේමා ය. සමාජ මාධ්‍ය ඔස්සෙ ඒ නිදහස අප සැලකිය යුතු ලෙස විදිමින් සිටී. අපේ අවිඥානය අද ඇත්තේ අපේ සමාජ මාධ්‍ය ගිණුමේ හෝ දුරකථනයේ ය. අවිඥානය අවිඥානය වන්නේ එය සැගවුණු විට ය. නමුත් දැන් එය තවදුරටත් යටපත් කරන ලද සැගවුණු දෙයක් නෙවෙයි.

හෘදය සාක්ෂිය
මා
එල්ලී
මැරී
ඇති විට
මගේ
අත ගෙන
(වම් අත)
දබරැගිල්ල
ස්ක්‍රීනය
මත තබා
ටච් කර
ලොක් ඇර
විවර තර
බලන්න…

අපේ අවිඥානය ගැන ෆ්‍රොයිඩ්ට වඩා අප වෙත පණිවිඩ එවන සමාගම් දනී.
මේ සැගවුණු බව කියන එක කවියටත් අත්‍යවශ්‍යයෙන් ම අදාළ දෙයක්. සගවලා කියන්නෙ කොහොම ද කියල කවියො හොදට දන්න දෙයක්. දැන් කලාකාරයෝ සගවලා කියන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. අමු අමුවෙ පෙන්වනවා. ඒකට කලාවක් අවශ්‍ය වෙන්නෙ නෑ. අමු අමුවෙ කියද්දි ඒ ගැන ප්‍රත්‍යවලෝකනයක යෙදෙන්න දෙයක් නෑ.

ඇන්ටනා වයරය දිගේ
පහළින්
ඇදෙමි මම
කිරණ සේ ඇන්ටනා කූරට

ඇන්ටනා කූරේ
මුදුනින්
මිදෙමි මම
අංශුවක් වී
ඩිජිටල් තරග ඇකයක

කදු වළලු අතරින්
හමමි මම
සුළග හා
චන්ද්‍රිකා කුළුණට

ලොකු ම පීරිසියෙ
සිදුරෙන්
කිදෙමි මම
දත්තයක් සේ
විකාශන මැදුරට

වයර් කේබල්
දිගේ
වදිමි මම
ඇස් දෙකක් වී
ස්ටුඩියෝ කුටියට

කාචයට ඉස්සරහ
පැත්තෙන්
පනිමි මම
පුරුෂ ලිගුවක් සේ
ඇගේ කලවා අතරට

සොක්‍රටීස්ව හැදින්වුයේ atopos කියල එහි නිරුක්තිය තමයි ස්ථානයක් නොමැති කියන එක. මොකද ඔහුට අපි අද කියනව වගේ එහෙම තැනක් නොතැනක් වෙලාවක් කලාවක් තිබුණෙ නෑ. ඔහු ගත කළේ හරි ම අස්ථානීය ජීවතයක්. ඔහු හිතුවෙත් එහෙමයි. කාව්‍ය කියන්නෙත් අස්ථානීය යමක්. හිතපු හැටිය හිතට එන දේවල්. එවැනි ජීවිතයක් බොහොම අව්‍යජයි. හයිඩෙගර් කිව්ව ඔතෙන්ටික් ලයිෆ් එකත් ඒක වෙන්නැති. ආදරය කියන්නෙත් atopic දෙයක්. එය සමහර විට කාව්‍යට නගලා ඉවර කරන්න බැරි වෙන කරන්න කරන්න අසමත් වෙන යමක්.

ඒ සුළැගිල්ල
අල්ලා ගත් පසුව
මා අත…

මා අතහැරියා
සුළු සුළු සිහින
දිගු කලක් තිස්සේ
මා දුටු

අපට අද ආදරය කරන්න බැරි වන සමාජ කොන්දේසි හැදිලා තියෙනවා. අද නවලිබරල්වාදය විසින් අපට කියන්නේ අනෙකා එක්ක තරග කරන්න කියන එක. මේ ළගක දි කෙනෙක් කියනා අහන් හිටියා තරගය කියන්නෙ කවුරුවත් නොපරදින සීරෝසම් ගේම් එකක් කියල. ලංකාවේ නවලිබරල් ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින ඇඩ්වොකාටා එකේ උන්දැ කෙනෙක්. තරගය ප්‍රමුඛ වෙච්ච සමාජයක් ආදරය කරන්නේ කෙසේ ද ? සුළු සුළු දේවල් අත් හරින්නේ කෙසේ ? නමුත් මෙතකින් කියල නතර කළතෝ එය අසම්පූර්ණයි. අද අපි තරග කරන්නේ අනෙකා සමග පමණක් නොව අපි සමගත් තරග කරයි. එය සාම්ප්‍රදායික මාක්ස්වාදී අදහසින් විස්තර කරන්න පුළුවන් යමක් කියල මං හිතන්නෑ.

ප්‍රේක්ෂකයාණෙනි,
දුටුවා ද
ඔබ සමග
ඔබ එක්ක
පැවැත් වූ
තරගය

දැන්
ඔබ නැතුව
ඔබ නැතුව
ගුම් දිදී
තියෙන හැටි?

ඇලන් බදියු කියනවා අපි ආදරය මේ යුගයේ යළි අලුතින් සොයා ගත යුතු දෙයක් කියල. ආදරය කියන්නෙ අනෙකාව වෙත අප විවරවන අනාවරණය වෙන කඩා වැටෙන විදිය. මං ආදරය කියල කියන්නෙ විශේෂයෙන් ම fall in love, ආදරයෙන් වැටීම කියන්නෙ තමන් ඉන්න ධූරාවලියෙන් බිමට පැණීම, නැත්නම් ඉතා ම අහඹු ලෙස හදිස්සියේ බිමට වැටීම. නමුත් අද අපි කරමින් ඉන්නේ ධූරාවලී නඩත්තු කිරීමය. නවලිබරල්වාදය කියන්නෙ ම ධූරාවලිය නඩත්තු කිරීමේ යාන්ත්‍රණයයි. එවැනි සමාජයක ආදරයෙන් වැටීමට ඉඩක් නැත. සැබෑ කොමියුනිස්ට්වාදියෙක් වීම යනු සැබෑ ප්‍රේම වන්තයෙක් වීම ය. නමුත් අපට ඒ සදහා අවශ්‍ය කොන්දේසි අද සීමිත ය. මේ කියන මාත් විශාල තරගයකට, ධූරාවලියකට සිරවී ඇත.

‘ඔයා ගියොත්
මං එල්ලෙනවා‘
ඔයා ගියපු හැටි
ඔයාට හිතාගන්න තාමත් බැරුව ඇති

අපි දෙන්න ම
උඩට යන්න හදපු
රවුම් පඩි පෙළ යට ඉදන්
මං ආයේ එනකං
ඔයා බලාගෙන ඉන්න ඇති

ආපසු හැරෙන්නේ නැතිව
නික්ම ගිය මිනිහෙක් වෙනුවෙන්
එල්ලී එල්ලී එන්නැතුව
එකවර ම එල්ලෙන්න හිතුන එක
සහනයක් සේ දැනෙන්නැති

මේ පඩි පෙළ නැත්නම් ධූරාවලිය යට හැමදාම බලාගෙන ඉන්න පුළුවන් තැනක් නොවන බව අපි දන්නවා.

මේ අසංවිධානාත්මක වියවුල් සිතුවිලි මා වැනි ම (poetic but chaotic) නොනිමි වියවුල් සිතුවලිවලින් පිරුණ ලක්ෂාන් මධූරංගට ය.
ලක්ෂාන් කියන්නෙ නීට්චා කියනව වගේ නටන තරුවකට පන දෙන්න පුළුවන් තරමට හදවතේ වියවුල් තියෙන කවියෙක් බව මං දැකල තියෙනවා. ඒ වියවුල අධිවියවුලක් වෙලා කවි තරුවලින් අපේ අදුරු ආත්ම දල්වන්න ලැබේවා කියල පතනවා.


leave a reply