Breaking News

හුදකලා නෑ මේ සිදුවීම් දේශපාලනිකයි.

සමන්සිරි හේරත්

රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය තුල  පෙනෙන කරුණක් නම්  පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ජනාධිපති වූ දා සිට රනිල්  රට තුළ ජාතිවාදී ආගම්වාදී ආතතියක් නිර්මාණය කිරීමට  සැලසුම් සකස් කරන බවයි .  පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව අත්තනෝමතික ලෙස කල් දමා   ඉන්දියාවේ උවමනාවන්  වෙනුවෙන්  නැවතත් දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳ කතාව  උඩට මතු කරමින් සිටිනවා.  පැහැදිලිවම රනිල් රාජපක්ෂ ක්‍රියාවලියේ වුවමනාව වී තිබෙන්නේ  මේ හරහා රට තුළ  පවතින සංහිඳියාව  ආතතියක් දක්වා වර්ධනය කර  ඉදිරි දේශපාලන ක්‍රියාවලිය තමන්ට වාසි ආකාරයට හසුරුවා ගැනීමට  අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ගැනීමටයි.

රටේ ආර්ථික කඩා වැටීම සහ දේශපාලන අස්ථාවරත්වය මත පදනම්ව  ඉන්දියාව තමන්ගේ අවශ්‍යතාවයන්  තමන්ට වුවමනා ආකාරයට  ලංකාව තුළ සිදුකරගැනීමට කටයුතු කරමින් ඉන්නවා.  අර්ථිකය නගා සිටුවන්නට යයි පවසමින් මූල්‍ය ආධාර සපයමින්  ඉන්දියාව ගෙන යන ක්‍රියාවලිය සැකසහිත කුමන්ත්‍රණකාරී  ක්‍රියාවලියක් බව  පැහැදිලි වෙමින් පවතිනවා .  ඉන්දියාව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සියලු බලතල සහිතව ක්‍රියාත්මක කළ යුතුයි කියන  යෝජනාව ගෙන එන්නේ ඇත්තටම එය ක්‍රියාත්මක කළයුතු නිසා නොව  ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතික අස්ථාවරත්වයක් ඇතිකර තවදුරටත් ඉන්දියානු  බලපෑම ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කරන  වටපිටාව නිර්මාණය කර ගැනීමේ වුවමනාව මතයි.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා බෙදා ගත්තු මේ ඡායාරූපය  හොදින් විශ්ලේෂණය කර බලන්න  එම හින්දු බැතිමතුන්ගේ හදවත ඔවුන්ගේ මූණෙන් ඔබට කියවා ගැනීමට හැකිය .  නීතියේ ආරක්ෂාව සහිතව  ඒ සිංහල බෞද්ධ තක්කඩියා  එ ලිපට පය තියා ගින්න නිවන්නේ  ආඩම්බර ලීලාවෙන් බව ඔබට පෙනේවි.  එහෙත් ඒ ක්‍රියාවලිය හරහා  බුර බුරා නොනැඟුණු ගිනි ජාලාවක් අවුලන්ට හැකි වෛරයත්  රතු කමිස ඇඳගෙන සිටින තරුණයා  තුළ  හටගෙන තිබෙන බව  ඔහුගේ මුහුණ කියවන විට ඔබට වැටහේවි.  තලේබාන් පන්නයේ සිංහල බෞද්ධ ආක්‍රමණයක්  රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන මේ මොහොත  නැවත ප්‍රතිනිර්මාණය කරන්නට සූදානම් වන්නේ  1983 දැයි   ඔබට සැක සහිතව සිතන්නට නොහැකි ද?  ඒ අප්‍රසන්න කළු ජූලියට වසර හතළිහක් සම්පූර්ණ වෙන මේ මොහොත තුළ  නැවත එවන් අවස්ථාවක්  යලි කැඳවන්න දේශපාලන උවමනාවක් ක්‍රියාත්මක වන බව  මේ ක්‍රියාවන් හරහා පැහැදිලි වෙමින් පවතී.   සිංහල බෞද්ධ අඩන්තේට්ටම් වලට  මේ ලක්වන්නේ  හින්දු බැතිමතුන් පිරිසකි .  මේ හින්දු බැතිමතුන් ගරු භක්තියෙන්  යමක් පිළියෙල කිරීමට සූදානම් වන්නේ කුරුන්දි හී ආදි අය්යන් පුදබිමට වෙත ගෙන යෑමටයි.  ඔවුන්ගේ මේ ඇදහිල්ලට කරන  කෙනහිලිකම රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන්නකි.  ඒ බව සනාථ කරන පොලිසිය වටේට නිහඬව සිටී. මේ වන තෙක් මේ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමක් හෝ ඔහුට වරෙන්තු නිකුත් කිරීමක් සිදු කර නැත.

තවද පසුගියදා කොක්කුතුඩුවායි ප්‍රදේශයේ හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන්  විද්‍යාත්මක පැහැදිලි පරීක්ෂණයක් සිදු කරන ආකාරයක් පෙනෙන්නට නොතිබේ.  මේ සමූහ මිනී වළ තුළ මිහිදන්ව ඉන්නේ කවුරුන්ද?  මේ සමූහ මිනී වළ නිර්මාණය කළේ කවුරුන්ද? කියන එක පිළිබඳව සමාජය දැන ගැනීමට කැමැත්තෙන් සිටිනවා.  විශේෂයෙන්ම දෙමළ ජන ප්‍රජාව මේ මිනී වළ තුළ තමන්ගේ ඥාතීන් සහෝදරයන් හිතවතුන් සිටියිද කියා  දැනගැනීමේ වුවමනාවකින් පෙළෙනවා.  දශකයක් ඉක්ම ගිය ද  යුද්ධයේ අවසාන කාලයේ රජයේ හමුදාවන්ට බාරවූ දහස් ගණනක් මිනිස්සු අතුරුදහන් වී  කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙලා තිබෙනවා.  ඒ මිනිස්සුන්ව සොයාදෙන්න කියා  අඛණ්ඩ අරගලයක  දෙමළ ජන සමාජය නිරත වෙලා සිටිනවා.  ඔවුන් තුළ මේ මිනී වළ තුළ සිටින්නේ ඔවුන්ගේ ඥාතීන් ද කියන පැනය මතු නොවී තිබෙිද එ හෙයින් මෙය මග හැර යා නොහැකි ප්‍රශ්නයක්,  එහෙත් ආණ්ඩුව එය මගහැර යමින් තිබේ.

විසදුම් ලබා දිය යුතු ප්‍රශ්න මගහැර යමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව  උත්සාහ දරමින් සිටින්නේ සමස්ත ශ්‍රී ලාංකීය ජන සමාජයට  මර්දනය කැඳවීමටත්  පවතින සංහිඳියාව  කුමන හෝ ගැටුමක් නිර්මාණය කර  කඩාබිඳ දැමීමටයි.

83 කළු ජූලිය ට වසර හතළිහක් සම්පූර්ණ වෙන මේ මොහොතේදී මේ නිශ්චිත  කරුණු දෙක ඉදිරිපත් කරමින් අපි ඔබට  අවධාරණය කිරීමට සූදානම් වන්නේ   පැහැදිලිවම ඔබ විමසිල්ලෙන් සිටිය යුතු බවයි.  රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ උවමනාව  ඉදිරි දේශපාලන ජයග්‍රහණයක් වෙනුවෙන්  ජනතාව අතර  යලි ගැටුමක් නිර්මාණය කර  එහි වාසිය ලබා ගැනීමටයි.  එය සිදු වන විදිහ කුමක් වුව  ඒ වළක්වාලීමට මැදිහත්වීමේ  මහජන වගකීම ඔබ සතු බව  අවධාරණය කරමු .

leave a reply