Breaking News

යන්නෙ කොහෙද මල්ලෙ පොල් – බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය  සරත් වීරසේකර පැවසීය.

කළුතර මුණසිංහ ආරාමයේ දී අද (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කී ඇමතිවරයා මෙරට ඇති දහසකට වැඩි මද්‍රසා පාසල් තහනම් කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව කීවේය.

අන්තවාදයට හේතුවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇති හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් රට තුළ ආණ්ඩුව අපකීර්තියට පත්වන සිදුවීමක් ප්‍රසිද්ධ වූ බොහෝ අවස්ථාවලදී ආණ්ඩු එය ආවරණය කරගනු ලබන්නේ ජාතීන් අතර නොසන්සුන්තා ඇතිවෙන ආකාරයේ තීරණ ගැනීමෙනි. මේ ආණ්ඩුව සහ පෙර පැවති ආණ්ඩුව රටේ විශාල ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවට එරෙහි විරෝධය ඇවිළුණු බොහෝ අවස්ථාවලදී ජාතික ආරක්ෂාව නම් හෑල්ල මතුරනු දැකිය හැකිවිය. මේ මොහොතේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ආණ්ඩුව අපකීර්තියට පත්වෙමින් සිටිනු දැකිය හැකි වේ. ඒත් සමඟම ආණ්ඩුවට එරෙහි විරෝධයද සෑම දෙසින්ම වැඩිවෙමින් පවතියි.

යහපාලන ආණ්ඩුව සමයේ පාස්කු ප්‍රහාරය වැලැක්වීමට පියවර නොගැනීම ගැන ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල වෙද්දී මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගත් පළමු පියවර වූවේ බුර්කාව තහනම් කිරීමයි.

නමුත් පාස්කු ප්‍රහාරය සහ බුර්කාව අතර කිසිම සම්බන්ධයක් නොතිබුණි.

මීට දින කිහිපයකට පෙර ස්විස්ටර්ලන්තයේ මුහුණු ආවරණ තහනම් කිරීම පිළිබඳ පැවති ජනමත විචාරණයකදී එම තීරණයට පක්ෂව බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබුණි.

මේ පිළිබඳ යෝජනාව ගෙන එනු ලැබුවේ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වූ ස්විස් ජනතා පක්ෂයයි. (SVP – Swiss People’s Party)

එහිදී මෙම තීරණය සම්බන්ධයෙන් නැගුණු ප්‍රබල විරෝධයක් වූවේ කාන්තාවන් පැළඳිය යුත්තේ කුමක්ද යන්න නිගමනය කිරීම රාජ්‍යයට අයත් කාර්යයක් නොවන බවයි. එසේම මෙය නෛතික අසමානතාව පිළිබඳ ප්‍රතිපත්තිය තවදුරටත් පුළුල් කරන්නක් මෙන්ම බැහැර කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සුළුතරයට යැවුණු පැහැදිලි සංඥාවක් බවද විචාරකයන්ගේ අදහස විය. ජර්මනියේ ලුසර්න් විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකට අනුව, ස්විට්සර්ලන්තය තුළ කිසිවකු හෝ බුර්කාව නොපළඳින තරම් වන අතර කාන්තාවන් 30 දෙනෙක් පමණ නිකාබය පළඳින බවද අනාවරණය වී තිබුණි .

leave a reply