Breaking News

වරාය වෘත්තීය සමිති විකිණීමට එරෙහිව අකුරට වැඩ – ආණ්ඩුව ඉන්දියාවට විකිණීම වෙනුවෙන් වැඩ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට විරෝධය පල කරමින් වරාය වෘත්තීය සමිති සංවිධානය කළ විරෝධතාවයක් අද(29) පැවැත්විණි.

එහිදී වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධන ලේකම් ශාමල් සුමනරත්න පැවසුවේ උද්ඝෝෂණයෙන් පසු අද සිට වරායේ සේවකයන් සමග අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

මේ අතර ආණ්ඩුව නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි සටන අඩපණ කිරීම සඳහා විවිධ නූල් සූත්තර දමමින් සිටියි.

මෙහි එක් පියවරක් ලෙස ‘නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂිත ආයෝජකයන්ට කොළඹ කොටස් වෙළඳපොළ හරහා ඊට ප්‍රවේශවීමට හැකිවන යෝජනාවක්’ පෙබරවාරි 1 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය කැබිනට් සංදේශයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමේ අදහස වන්නේ මේ වනවිට ඉන්දිය ව්‍යාපාරික අදානිට අයත් සමාගමක් වරාය පර්යන්තය අත්පත් කරගන්නා බවට පළවන ජනප්‍රිය විරෝධය හරහා ආණ්ඩුවේ අරමුණ ඉටුකර ගැනීමටය. වරාය සේවකයන් විසින් විරෝධය පළකරමින් සිටින්නේ කිසිදු සමාගමකට පැවරීම වෙනුවට වරාය අධිකාරිය සතු දේපළක් ලෙස මෙම අගනා ආර්ථික සම්පත පවත්වා ගෙන යමින් ලාභ ඉපදවන ලෙසයි. ආණ්ඩුව විසින් කොටස් මිලදීගැනීම හරහා වරාය අධිකාරියට කොටස්වලින් 15%ක් තබා ගනිමින් ඉතිරි 85% ජෝන් කීල්ස් සමාගම, ජපන් හා ඉන්දිය සමාගම් වලට මිලදීගැනීමට හැකි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට නියමිත බවත් වාර්තා වේ.

ඊට අමතරව නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට නම් ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට සිදුවන බවත්, ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ නොකරන්නේ නම් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට එකඟ විය හැකි බවට ආ‍ණ්ඩුවෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වරාය වෘත්තීය සමිති පවසයි.

කෙසේ නමුත් එම ව්‍යාපාරය නියෝජනය කරන වෘත්තීය සමිති බහුතරයක් ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ ආකාරයට වරාය විවිධ විදේශික සමාගම්වලට හෝ දේශීය සමාගම්වලට විකිණීමෙන් රාජ්‍ය දේපලක් ලෙස ආදායම් ඉපදවිය හැකි අවස්ථා ගිලිහී යාම වළක්වා ගැනීම වරාය වරාය වෘත්තීය සමිතිවල අරමුණයි. ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවේදී ද පවසා සිටියේ නැගෙනහිර ජැටිය විකිණීමක් නොව ආයෝජනය කිරීමක් පමණක් සිදුවන බවයි. විවිධ වචන හරඹ විවිධ සැලසුම් හරහා දිගින් දිගටම ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ වරාය විකිණීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම බව දක්නට ලැබේ.

leave a reply