Breaking News

කොවිඩ් මර්දනයේ අඩුපාඩු වහන්න සමාජ මාධ්‍ය දඩයම නැවතත් ක්‍රියාත්මකයි

කොවිඩ් මරණ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ තවත් සිව් දෙනෙකු ගැන විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර අද පෙරවරුවේ අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මහ මඟ මියයන බවට අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට තිබුණි.

සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්යා පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ.

කොවිඩ් – 19 මරණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ බවට සැකපිට එම පුද්ගලයාව කඩුගන්නාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය.

කොවිඩ් – 19 ආසාදනයවීමෙන් පුද්ගලයින් මහ මඟ මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මළ සිරුරුවල ඡායාරූප පළකරමින් අදාළ පුද්ගලයා විසින් අසත්‍ය ප්‍රචාර පතුරුවා හැර ඇතැයි පොලිසිය පවසයි.

35 හැවිරිදි අදාළ පුද්ගලයා කඩුගන්නාව හේනවල එගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ආණ්ඩුව මිට පෙර කොවිඩ් රැල්ල අවස්ථාවේද සමාජ මාධ්‍ය ජාල ඉලක්ක කරගනිමින් මෙවැනි මර්දනයක් දියත් කරනු ලැබුණි. එහිදී ආණ්ඩුව පැවසුවේ කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප‍්‍රකාශ අන්තර් ජාලය තුළ ප‍්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි. නමුත් සත්‍ය ලෙසම සිදුවූවේ ඒ අවස්ථාවේ ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලෙහි පවතින අඩුපාඩු සම්බන්ධ විවේචනය කරන්නන් මර්දනය කිරීමයි.

සමාජ මාධ්‍ය රජයට අවශ්‍ය අවස්ථාවල තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට වාරණය කෙරෙන අතරම අවශ්‍ය තොරතුරු විමර්ශන සඳහා භාවිත කරනු ලබන මෑතකාලීනව දකින්නට ලැබුණි. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය දැමීමට පෙර බස්නාහිර පළාතෙන් පිටවූවන් සෙවීමට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල තොරතුරු පාවිච්චි කරන බව පොලීසිය පවසන ලදී. සමාජ මාධ්‍ය භාවිත කරනවුන් රාජ්‍ය ඔත්තු කාර්යාංශ හරහා නිරීක්ෂණය කර රජයට විරුද්ධ පුද්ගලයන් දඩයම් කිරීමට එවැනි තොරතුරු භාවිත කිරීම අපේ රටේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී යයි පම්පෝරි ගසන බොහෝ රටවල් විසින් සිදුකරන්නකි. මේ හරහා වඩාත් සූක්ෂම ආකාරයෙන් විරුද්ධව මත දක්වන්නන් මර්දනය කිරීමට අමතරව විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීමට සමාජය තුළ බියක් නිර්මාණය කිරීමද සිදුකරයි.

leave a reply