Breaking News

වැලිගම වෙඩිතැබීම ගැන ටිරාන් කිව්වේ අමූලික බොරු – W15 වැලිගම හෝටලය

W15 සන්නාමය යටතේ ක්‍රියාත්මක වන වැලිගම බුටික් හෝටලය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිදු කළ ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකාරීත්වය දරන සමාගම විසින් අමාත්‍යවරයාට සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

Lanka Realty Investments PLC නමැති මෙම සමාගම ටිරාන් අලස් අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියකින් පෙන්වා දෙන්නේ යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ‘W 15 වැලිගම’ හෝටලය ආශ්‍රිතව හට ගත් සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අසත්‍ය මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශ කිහිපයක් නිකුත් කර ඇති බවයි.

2024 ජනවාරි 18 දින ටිරාන් අලස්ගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම ප්‍රවෘත්ති සාක්ච්ඡාවේදී ටිරාන් අලස් අමාත්‍යවරයා W 15 වැලිගම හෝටල් පරිශ්‍රයේ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බව Lanka Realty Investments PLC සමාගම පවසනවා.

එමෙන්ම, මෙම හෝටලය සමඟ හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධ බව සඳහන් කරමින් ටිරාන් අලස් විසින් එහිදී අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවද අදාළ ලිපියේ සඳහන්.

එම සමාගම මෙහිදී අවධාරණය කර ඇත්තේ වැලිගම වෙරළ පොදු ස්ථානයක් බැවින් එහි සිදුවන සිදුවීම් ඔවුන්ගේ හෝටලයේ පාලනයෙන් තොර බවයි.

එමෙන්ම, Lanka Realty Investments PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ටිරාන් අලස් අතර ඇති වූ හමුවකදී “මෙම හෝටලය බේරා දෙන්න යයි” වැලිගම W 15 හෝටලයේ හිමිකාරීත්වය විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවට ටිරාන් අලස් නිකුත් කර ඇති ප්‍රකාශයද අසත්‍ය බව මෙම ලිපියෙන් පෙන්වා දෙනවා.

එමෙන්ම, මෙම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔහු ටිරාන් අලස් හමු වූයේ පොලිස් නිලධාරියෙකුට පවා මියයෑමට සිදුවූ වැලිගම වෙඩි තැබීමේ සිදුවීමේදී, දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකර අපරාධ විමර්ශන කොට්ඨාශය එලෙස ක්‍රියා කළේ ඇයිද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් බවයි.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් තමා සතු බලතල භාවිත කරමින් මෙලෙස අසත්‍ය සහ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුවට කරුණක් බවත් ඉදිරියේදී එවැනි ප්‍රකාශයන් සිදු කිරීමෙන් වළකින ලෙසත් Lanka Realty Investments PLC සමාගම ටිරාන් අලස් මහතා දන්වා තිබෙනවා.

එමෙන්ම, එසේ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් තම සමාගමේ කීර්ති නාමයට සිදු වන හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද Lanka Realty Investments PLC සමාගම අවධාරණය කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීමේ අභියෝග එල්ල වෙමින් පවතින පසුබිමක සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කර ඇති ප්‍රකාශ W 15 හෝටල් සමූහයට මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ක්ෂේත්‍රයටම අහිතකර බලපෑම් එල්ල කරන බව පවසමින් Lanka Realty Investments PLC ශ්‍රී ලංකා හෝටල් සංගමය වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාගේ සහ සංචාරක අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන ලෙසත් රජයේ වගකීම් දරන අමාත්‍යවරුන් විසින් අසත්‍ය හා වගකීම් විරහිත ප්‍රකාශයන් විසින් මෙවැනි අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් සිදු කිරීම ඉදිරියේදී ඉඩ නොතබන ලෙසත් Lanka Realty Investments PLC සමාගම ශ්‍රී ලංකා හෝටල් සංගමයෙන් ඉල්ලා සිටිනවා.

අදාළ ලිපි පහතින්,

Letter-to-Minister-of-Public-Security1

උපුටා ගැනීම – නිව්ස් 19 වෙබ් අඩවිය

leave a reply