Breaking News

කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්, සරල තැනින් පටන් ගන්න ඕනා – ජනාධිපති

“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවද කුණු සම්බන්ධ ජනාධිපතිවරයාගේ ඉතිහාසය නම් හොඳ එකක් නොවේ. මීතොටමුල්ලට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසරේ දී කොළඹ ‘බ්ලූමැන්ඩල්’ කුණු කන්දට කසල බැහැර කිරීම නවතා දැමීමත් සමගය. එවක රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි. ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරුවද නාගරික සංවර්ධන අධිකාරිය වැනි නාගරික සංවර්ධන කටයුතු වලට සම්බන්ධ කටයුතු රැසක් මෙහෙයවනු දක්නට ලැබුණි. ඒ කාලයේත් කොළඹ නගරය ලස්සන කිරීමේ කටයුතුවල යෙදී සිටි ගෝඨාභය රාජපක්ෂට කුණු මිතොටම්මුල්ලට ගෙන ගොස් දැමීම හැරෙන්න වෙන විසඳුමක් තිබූ බව දක්නට නොලැබුණි. මීතොටමුල්ල කුණු කන්ද පෙර තිබූ තත්ත්වයට වඩා වර්ධනය වූවේ එම කාල සීමාව තුළයි. අවසානයේ මෙලෙස වර්ධනය වූ කුණු කන්ද ප්‍රදේශවාසීන්ගේ හිස මතට වැටුණි.

දැනට රට පුරා නිර්මාණය වූ කසළ කඳු 150ක් දිවයින පුරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වූ (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මේ වසරේ මුල පවසා තිබුණි. නමුත් කුණු ඉවත්කිරීම පහසු දෙයක් බව පවසන්නේ ජනාධිපතිවරයාට එදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පහළ නොවූ අදහස් ජනාධිපතිවීමෙන් පසු දැන් පහළවි තිබෙනවාදැයි අපි දන්නේ නැත. නමුත් පෙනෙන්නට තිබෙන කරුණු අනුව 2005න් පසු කසළ සම්බන්ධ ප්‍රතිපත්තියක් නොතිබූ ආකාරයටම දැනටත් කසළ සම්බන්ධ ප්‍රතිපත්තියක් තිබෙනු දක්නට නැත. ඒ වෙනුවට කසළ අරුවක්කඩුවලට ගෙනගොස් දැමීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුවද ඉදිරියට ගෙනයනු දක්නට ලැබේ. එයින් ඇතිවිය හැකි පරිසර හානියේ වන්දිය ගෙවීමට සිදුවන්නේ අරුවක්කාඩු ජනතාවට සහ රටේ ජනතාවටයි.

 

leave a reply