Breaking News

අපි කිසිම දේකට මැදිහත්වෙන්නෙ නෑ, ජෙරොම් ජයරත්න ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්නෙ මල්ලිගේ මාමා වෙන්න කලින් – නාමල් කියයි

ජෙරොම් ජයරත්න ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ වී ඇත්තේ ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධ වීමටත් ප්‍රථමයෙන් බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසා තිබේ. ඔහු පවසන්නේ “ජෙරම් ජයරත්න ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ වෙලා තියෙනෙ අපේ මල්ලි එයාගෙ දුවව කසාද බඳින්න කලින්” බවයි.

ජෙරොම් ජයරත්න ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ හෝ තම පවුලේ හෝ කිසිදු මැදිහත්වීමක් නොමැති බවත් එය ක්‍රිකට් ආයතනයේ ස්වාධීන තීරණයක් බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා තිබේ. ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට තමාගේ කිසිදු මැදිහත්වීමක් හෝ ඇඟිලි ගැසීමක් සිදු නොවන බව ද ඔහු පවසයි.

ක්‍රීඩා සංගම්වල කටයුතුවලට අතපෙවීම් සිදු නොකරන නමුත් ක්‍රීඩා සංගම් ඔවුන්ගේ කාර්යභාරය නිවැරදිව ඉටු නොකරන්නේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමා ඊට මැදිහත් වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර ඇති බව මීට දින කිහිපයකට පෙර Lanka Truth වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

සීෂෙල්ස් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාව සබඳතා පටන් ගනු ලැබූවේ 2010-14 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය තුළදී බවත් එම කාලයේ දී සීෂෙල්ස් රාජ්‍ය තුළ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් ද, ලංකා බැංකු ශාඛාවක් ද ආරම්භ කර ඇති බව එම පුවත් වාර්තා වේ දැක්වේ. ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු ප්‍රමාණයක් වාසය කරන සීෂෙල්ස් රාජ්‍යය තුළ තානාපති කාර්යාලයක් සහ ලංකා බැංකු ශාඛාවක් පිහිටුවීම එකල දැඩි අවධානයට ලක්ව තිබුණි. 2020වන විට සීෂෙල්ස් රාජ්‍යයේ සමස්ත ජනගහනය 98,000ක් වූ අතර එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,200 කි. ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රාම සේවක වසම් වල මීට වඩා වැඩි ජනගහනයක් සිටින රටක් බව පැවසේ.

එහෙයින් මෙතරම් කුඩා ජනගහනයක් සඳහා ශ්‍රී ලාංකික මහ කොමසාරිස් වරයෙකු පත් කිරීම සැකකටයුතු සිදුවීමකි. මෙම කුඩා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යය කළු සල්ලි සුදු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රකටව ඇත.

ශිරන්ති වික්‍රමසිංහ ගේ වැඩිමහල් සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ 2010-14 සමයේ ශ්‍රී ලංකන් එයාර් ලයින් හා මිහින් ලංකා සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුදල් නාස්තිය සහ බලය අයුතු ලෙස පරිහරණය පිළිබඳ ඔහුට චෝදනා රැසක් එල්ල වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගසම ප්‍රකාශ කළේ රටේ වැදගත් රාජ්‍ය ආයතන හා රාජ්‍යතාන්ත්‍රික තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ දී විද්වත් කමිටුවක නිර්දේශ ලබා ගන්නා බවයි. එසේම ඥාතීන් ඉහළ තනතුරුවලට පත් නොකරන බවටද මැතිවරණ සමයේ කියා තිබුණි.

එහෙත් ආණ්ඩුව බලයට පත්වූ මුල් අවධියේම පිහිටවූ කැබිනට් මණ්ඩලය උදාහරණ ලෙස දක්වමින් විපක්ෂය නැගූ ප්‍රධාන චෝදනාවක් වූවේ කැබිනට් මණ්ඩලයට අයත් අමාත්‍යංශයවලින් භාගයකට වඩා රාජපක්ෂවරුන් යටතේ ඇති බවයි.

එම චෝදනාවලට අනුව කැබිනට් ඇමති ධූර 4 ක් හා රාජ්‍ය ඇමති ධූර 2 ක් රාජපක්ෂ පවුලේ හයදෙනෙකු අතර බෙදා ගෙන තිබූ අතර ආයතන වශයෙන් ගත් කල රාජ්‍ය ආයතන 434 කින් 126 ක්ම ඔවුන් යටතට අයත් බවයි.

රාජපක්ෂලා දරන විෂය පථය බෙදී ඇත්තේ පහත ආකාරයටයි

1.ආරක්ෂක අමාත්‍ය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

  1. මුදල් බුද්ධසාශන ,ආගමික සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

3.වාරිමාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ

4.තරුණ හා ක්‍රීඩා ඇමති – නාමල් රාජපක්ෂ

5.අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය – චමල් රාජපක්ෂ

6.වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය – ශෂීන්ද්‍ර රාජපක්ෂ

leave a reply