Breaking News

ලංකාවේ ගැහැණු ළමුන් 410,000ට මන්දපෝෂණය

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන ගැහැණු ළමුන් 410,000ක් මන්දපෝෂණය හේතුවෙන් අඩු බරින් පසුවන බව බ්‍රිතාන්‍ය ‘ලැන්සෙට් මෙඩිකල් ජර්නලය’ විසින් රටවල් 199ක සිදු කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රටේ දරුවන්ගේ පෝෂණ මට්ටම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ, මෙම සංඛ්‍යාව අවුරුදු 5 සහ 19 අතර ළමුන්ගෙන් සියයට 16.4ක් වන බවයි.

බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පර්යේෂණයක් උපුටා දක්වමින් ඔහු පවසන්නේ, ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතර බර අඩුවීම අතින් ඉහළම සිටින රටවල් අතර ශ්‍රී ලංකාව වන බවයි.

පර්යේෂණ වාර්තාවේ දක්වා ඇති ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව, ඉහත සඳහන් කළ අඩු බර ගැහැණු ළමයින්ගේ ප්‍රතිශතය (උස අනුව බර) දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් බව ඔහු ප්‍රකාශ කළේය.

රටවල් 199ක මිලියන 220ක ජනතාවකගේ සහභාගීත්වයෙන් පර්යේෂකයන් 1,900ක පමණගේ දායකත්වය ඇතිව සිදුකරන ලද මෙම පර්යේෂණයේ ප්‍රධාන නිර්ණායකයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය (උස සඳහා බර) පරීක්ෂා කර තිබේ.

1990-2022 අතර කාලය තුළ එකතු කරන ලද දත්ත උපයෝගී කර ගනිමින් වසර තිහකට අධික කාලයක් තුළ මෙම පර්යේෂණය සිදු කර ඇති බව වෛද්‍ය චමල් සංජීව පැහැදිලි කළේය.

පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු නිසා ඔවුන් කායික රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇතිවනවා පමණක් නොව, මන්දගාමී මානසික වර්ධනය හේතුවෙන් ඔවුන් මානසික ආබාධවලට ලක්වීමේ අවදානමකටද ලක්වන බවට ඔහු අනතුරු ඇඟවීය.

මේ තත්ත්වය මැඩලීමට රාජ්‍ය මට්ටමින් පියවර නොගතහොත් දිවයිනේ මන්දබුද්ධික ළමා පරපුරක් බිහිවනු ඇති බවත් මෙවැනි වාර්තා සහ විශේෂඥයන් විසින් තමන් ඉදිරියේ තැබූ දත්ත අවතක්සේරු කිරීම හේතුවෙන් රටේ පාලකයන් තත්ත්වයෙහි බරපතළකම සැළකිල්ලට ගැනීමට අපොහොසත් වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මන්දපෝෂණය හේතුවෙන් ළමුන්ගේ එන්සයිම සහ හෝමෝන නිෂ්පාදනය අඩාල වී දෛනික ශාරීරික ක්‍රියාකාරකම් බිඳවැටීමට හේතු වන බවත් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ඌනතාවය හේතුවෙන් බොහෝ කායික රෝගාබාධවලටද ගොදුරු වන බවත් ඔහු පෙන්වාදෙයි.

දරුවන්ගේ මානසික වර්ධනය අඩාළවීමට මන්දපෝෂණය සෘජුවම හේතුවීම අර්බුදයේ උග්‍රවීම බව වෛද්‍ය සංජීව සඳහන් කරයි.

එය ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වියහැකි උගත් හා බුද්ධිමත් තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව හීන වීමට හේතු වනු ඇති බව ඔහු පැහැදිලි කළේය.

ලැන්සෙට් වෛද්‍ය සඟරාවට අනුව, ශ්‍රී ලංකාවේ පිරිමි ළමුන් සියයට 17.8ක් එනම් පිරිමි ළමුන් 450,000ක් ඔවුන්ගේ වයසට සරිලන බරට වඩා අඩුය.

ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ දරුවන් 860,000ක් ඔවුන්ගේ වයසට සරිලන බරින් අඩු බව සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ දරුවන් වයස අනුව බර, උසට අනුව බර, වයසට අනුව උස යන විවිධ පෝෂණ අර්බුදවලින් පෙළෙන බව යුනිසෙෆ් සහ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෑතකදී තහවුරු කර ඇති බව ඔහු සඳහන් කරයි.

වෛද්‍ය චමල් සංජීව සඳහන් පවසන්නේ, පර්යේෂණ වාර්තාව සළකා බැලීමේදී සමස්තයක් වශයෙන් තම වයසට සරිලන පරිදි අඩු බරැති ගැහැණු ළමුන් හා පිරිමි ළමුන්ගේ ප්‍රතිශතය මේ වන විට ගෝලීය මට්ටමින් අඩුවෙමින් පවතින නමුත් ශ්‍රී ලංකාවේ එම අගය තවමත් ඉහළ මට්ටමක පැවතීම පිළිබඳ බලධාරීන් අවධානය යොමුකළ යුතු බවයි.

පෝෂණ අර්බුදය විසඳීමට ලෝකයේ බොහෝ රටවල් සමත් වී ඇතත්, මෙම ඉලක්කය සපුරාගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වාර්තාවේ දක්වා තිබේ.

ආර්ථික අර්බුදයෙන් ක්‍රමක්‍රමයෙන් ගොඩ ඒමට හැකි වුවද තවමත් රට මුහුණ දී ඇති පෝෂණ අර්බුදය විසඳා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කරයි.

leave a reply