Breaking News

ඒ කියූ රහස් කථා නෑ සැබෑ වුනේ….

YOUTH FOR CHEnge

සුලඟේ පාවී
ඈ වෙත යාවි
මා සිතු සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතු සිතුම්

පාසැලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියු රහස් කතා
නැ සැබැ වුනේ

ගී පොතේදි මා ලියු සෝක ගීතයෙ
උල්පතයි ඔබේ නෙතින්
හෙලු බැලුම් ප්‍රියේ

ගායනය-මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය-කරුණාරත්න අබේසේකර
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

“නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුව දෙනා”

යනුවෙන් එදිරිවීර සරච්චන්ද්‍ර ලීවේ ඝර්ම කලාපීය දැඩි හිරු රැසෙන් පීඩා විඳින අප කලාපයේ මිනිස් සිරුරට අඳුන් ගැල්වූ කල ලැබෙන සිහිල කිනම් වේද, ආදරයේ සිහිල ඒ අඳුන්ද පරදන සුවයක් බවත් ආදරය තරම් සුවදෙන අන් අඳුනක් ලොව නොමැති බවත්ය.

අදත් ඉඳහිට මිල්ටන් මල්ලවආරච්චිගේ විරහ හඬින් මේ ගීතය ඇසෙද්දී පාසල් ප්‍රේමයේ මිහිරි මතක අවදිවන කී දහසක් මෙරට ඇත්ද? අද මිල්ටන්ලාගේ මුණුපුරන්ගේ ගීත සමග නව යොවුන් පරපුර ප්‍රේමය බෙදාගනිද්දී දශක කීපයක්ම පෙම්වතුන් ජීවත් කරවූ මෙවන් ගීත ගණනාවක්ම ඇත.

පාසල් වියේ ප්‍රේමය බොලඳ විය හැකිය. එහෙත් අව්‍යාජ මිහිරියාවක් සැමදා ඒ තුල පවතී. එදා දොඩමලුවට වඩා නෙත් කොනින් බලා කියූ රහස් කථා එමට විය. ඒ නෙතු වලින් පැවසූ කථා මේ ගිතය ඇසෙන මොහොතක් පාසා රූපණය වන්නේ අද සැබෑවක් නොවී අප බොහෝ දුර පැමිණ සිටිද්දීය.

එදා ප්‍රේමයේ ප්‍රකාශන මාධ්‍ය ලෙස හසුන් පත්, ගී පොත්, මතක සැමරුම් පොත් බොහෝ විය. මේ මාධ්‍යයන් තුල හැම පෙම්වතෙක් පෙම්වතියක්ම කවියෙක් කර තිබුණි. හැමෝම කවි නොලීවද කවිත්වයක් මේවා තුල ලියූ සටහන් තුල විය. සුවඳ කැවූ හසුන් පත් මෙන්ම ඇක්සයිස් පොතෙන් කඩා ගෙන ලියූ ලිපි ඇතැම් විට පුයර තවරා එවූ ඒ මිහිරට උල්පත වූයේ නෙතගින් හුවමාරු කරගත් හැඟුම්මය.

සුවිසල් සාහිත්‍යයක් අන්තර්ගත නොවුනද කරුණාරත්න අබේසේකර බොහෝ විට සමාජමය හැඟුම් හරියටම ස්පර්ශ කල ගීත රචකයෙකි. එය මේ ගීතය තුලින්ද සාධනය වන්නේ දශක කීපයකට පසුවත් අදත් හදවත් පිරිමදින ගීතයක් ලෙස පැවතීමෙනි. ක්ලැරන්ස් සංගීතයෙන් මේ ගීතය තුල ප්‍රාතිහාරයක් කර නැතත් මිල්ටන්ගේ විරහවේ හඬ තව තවත් තීව්‍ර කරන සංගීතයක් සංකලනය කර තිබේ. විශේෂයෙන්ම ශෝකී ස්වරයෙන් වැයෙන සැක්සපෝනය අපූර්වත්වක් ගෙන එයි. ක්ලැරන්ස් මෙලෙසම ශෝකී ස්වරය ඉපදවීමට සිකුරු ලියා ගීතයේද සැක්සපෝනය යොදාගෙන තිබෙනු ආවර්ජනය වේ.

ඉතින් අප බොහෝ දුර පැමිණ ඒ කියූ රහස් කථා සැබෑ නොවී සිටියද ඒ කියූ රහස් කථාවල මිහිර කිසිදා අත් හැරිය හැකිද? ඉඳ හිට හෝ යලි යලිත් මතුවන ඒ මිහිර මියන තුරු අප සමග තිබුනාවේ. ඒ ආවර්ජනයන් විසින් යලි යලිත් කිසිවක් බලාපොරොත්තුවෙන් තොරව වුවද අප හදවත් ප්‍රේමයෙන් සිහිල් කෙරෙයි නම් එවන් ශක්‍යතාවයක් ඇති කලා නිර්මාණ ලෝකයට තව තවත් ඇවසිව පවතී.

leave a reply