Breaking News

ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා අදානිට ලාභය මන්නාරම් පරිසරයට විනාශය

අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හේතුවෙන් පාරිසරික වශයෙන් ඉතා වටිනා සම්පතක් අහිමි වීමට නියමිතයි . ඉවක් බවක් නැතුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දැනටමත් අපේ රටේ බොහෝ පාරිසරික ගැටලු ඇති වී තිබෙන අතර පරිසරය සහ මිනිසා අතර ගැටුමත් තිවෘර වී තියෙනවා. අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා විසින් යෝජිත මෙගා වොට් 250 මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය හේතුවෙන් මන්නාරම් පරිසර පද්ධතිය සිද්ධ වෙන විනාශය පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් . ඒ සඳහා වට පුළුවන් පහත කරුණු පිළිබඳව විමසිලිමත් වෙන්න

අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා විසින් යෝජිත මෙගා වොට් 250 මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය (අදියර II) පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව

• මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ (CAF) දකුණු දෙසින් පිහිටි අවසන් ගමනාන්තය වන ශ්‍රී ලංකාව වාර්ෂිකව සංක්‍රමණික පක්ෂීන් විශේෂ 250 කට අයත් මිලියන 15ක් පමණ වන පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර එය ගෝලීය පක්ෂි සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් ගමනාන්තයකි.

• මන්නාරම විශේෂ 150 කින් සමන්විත පක්ෂීන් මිලියනයකට පමණ තීරනාත්මක ශීත ඍතු භූමියක් ලෙස ක්‍රියා කරන අතර තර්ජනයට ලක් වූ පක්ෂීන් විශේෂ 26 ක් සඳහා අභිජනන වාසස්ථාන සපයයි.

• කොළඹ විශ්වවිද්‍යාලයේ CAF-Sri Lanka Waterbird Tracking ව්‍යාපෘතියේ ප්‍රතික්ෂේප කළ නොහැකි විද්‍යාත්මක සාක්ෂි මගින් මන්නාරම සංක්‍රමණික පක්ෂීන් සඳහා තීරණාත්මක ඇතුල්වීමේ/පිටවීමේ දොරටුවක් බව අවධාරණය කරයි.

• ශ්‍රී ලංකාව නම් කරන ලද රක්ෂිත ප්‍රදේශ (ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානය, වන්කලෙයි අභයභූමිය (රම්සා තෙත්බිම) සහ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය) සහ සංක්‍රමණික විශේෂ පිළිබඳ සම්මුතිය, ජෛව විවිධත්ව සම්මුතිය හා රැම්සා සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතීන් හරහා මන්නාරමේ පාරිසරික වැදගත්කම හඳුනා ගෙන ඇත.

• යෝජිත මෙගා වොට් 250 මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය (අදියර II) පාරිසරික හා ආර්ථික සමතුලිතතාවයට සැලකිය යුතු අවදානමක් ඇති කරයි, බලපෑම් මන්නාරමේ සිට යාල, සිංහරාජය සහ හෝටන් තැන්න වැනි පුළුල් ප්‍රදේශ රැසක් පුරා පැතිරේ.

• ඉහත ව්‍යාපෘතිය සඳහා සිදු කරන ලද පාරිසරික බලපෑම් තක්සේරුව මන්නාරමේ පාරිසරික, සමාජීය සහ සංස්කෘතික වටිනාකම් අවප්‍රමාණය කරයි.
එහි ප්‍රධාන දුර්වලතා කිහිපයක් නම්,

  1. පාරිසරික බලපෑම් තක්සේරුව ශ්‍රී ලංකාවේ නීති උල්ලංඝණය කරමින් අසම්පූර්ණ යොමු කොන්දේසි මත පදනම්ව සිදු කර ඇත.

  2. ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබාගැනීමේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥතාව පිළිබඳ අධීක්ෂණයේ අඩුපාඩු.

  3. සත්ත්ව අධ්‍යයන ක්‍රමවේදයේ ගැටළු
    3.1. තීරනාත්මක සංක්‍රමණික කාල පරිච්ඡේද නොසලකා හරිමින් කුරුළු නිරීක්ෂණ සිදුකිරීම.
    3.2. ඝට්ටන අවදානම් තක්සේරු කිරීමේ දෝෂ
    3.3. පවතින උසස් පක්ෂි අධ්‍යයන දත්ත භාවිතා නොකර යල් පැන ගිය ක්‍රම භාවිතා කිරීම
    3.4. පක්ෂි චලන රටා පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් සහ විද්‍යාත්මක සොයාගැනීම් නොසලකා හැරීම.
    3.5. විද්‍යාත්මක පදනමකින් හෝ පවතින දත්ත සලකා බැලීමකින් තොරව සංක්‍රමණ කොරිඩෝවක් අත්තනෝමතික ලෙස යෝජනා කිරීම.

  4. මන්නාරමේ ජනතාවට එල්ලවන සෘජු හා වක්‍ර බලපෑම් පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම.

  5. ගංවතුර බලපෑම් පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම සහ පර්යේෂකයන් සමඟ ප්‍රමාණවත් තරම් කටයුතු නොකිරීම.

  6. ව්‍යාපෘති ස්ථාන අතිච්ඡාදනය වීම සහ පාරිසරික වශයෙන් සංවේදී ආරක්ෂිත ප්‍රදේශ අතර ඇති මංකඩ අවහිර කිරීම.

  7. සැලකිය යුතු කැණීම් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ උපදේශන ලබා නොගැනීම.

  8. අඩු පාරිසරික බලපෑම් සහිත විකල්ප ස්ථාන පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම.

• හරිත බලශක්තිය අනාගතය සඳහා ඉතා වැදගත් වේ. හරිත බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමේදී එමගින් ශ්‍රී ලංකාවට පාරිසරික, සමාජීය සහ ආර්ථික පාඩු අවම වන ආකාරයෙන් ඒවා සිදු කිරීමට උපාය මාර්ගික පාරිසරික ඇගයීම් (SEA) අවශ්‍ය වේ. AVISTEP වැනි මෙවලම් භාවිතා කිරීම පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ ආරක්ෂා කර ගනිමින් බලශක්ති ඉල්ලුම සපුරාලීමට උපකාරී වේ.

• මෙම ව්‍යාපෘතියට අවසර ලැබුණහොත් ශ්‍රී ලංකා භූමියේ ඇති අපගේම සුළං සම්පත් භාවිතා කරමින්, මෙම විදේශීය ආයෝජකයින් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය මගින් ජනනය කරන ‘හරිත’ බලශක්තිය ශ්‍රී ලංකාවට මිලදී ගත යුතුය. වසර 25 ක් සඳහා වෙළඳපල මිලට වඩා වැඩි මිලකට, එක්සත් ජනපද ඩොලර් වලින් ගෙවීම් සිදුකළ යුතුය.

• මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව මාර්තු 6 වනදා දක්වා මහජන අදහස් සඳහා විවෘතව පවතින අතර, සැලකිලිමත් පුරවැසියන්ට එම වාර්තාව පිළිබඳව අදහස් දැක්විය හැක. අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, බත්තරමුල්ල (dg@cea.lk, පිටපත් කිරීම gamage@cea.lk සහ nilmini@cea.lk) වෙත අදහස් ඉදිරිපත් කළ හැකිය.

• සම්පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව පහත දිගුව මගින් බාගත හැකිය (https://www.cea.lk/web/?option=com_content&view=article&layout=edit&id=173).

Wildlife and Nature Protection Society of Sri Lanka
ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS)

leave a reply