Breaking News

එහෙ බැලුවත් හමුදාව – මෙහෙ බැලුවත් හමුදාව

ආණ්ඩුවේ අලුත්ම ප්‍රතිපත්තිය වී ඇත්තේ සියලු රාජකාරි සඳහා සන්නද්ධ හමුදා යෙදවීමයි. මෙහිදී ආණ්ඩුව නගන තර්කය වන්නේ දුෂණ වංචාවලින් තොරව හමුදා නිලධාරීන් මෙම පත්කරනු ලබන රාජකාරි අකුරට ඉටුකරන බවයි. නැත්නම් කෙලින් වැඩකරන බවයි. ගෝඨාභය රාජපක්ෂ පත්කර ගනිද්දී ගෙනගිය ප්‍රචාරය වූවේ එයයි. නමුත් හමුදා නිලධාරීන් පත්කරගත් පමණින් ඒ කියන කෙං ගෙඩියක් සිදු නොවන බව මේ වනවිට පසක් වී තිබේ.

ඊට අමතරව හමුදා නිලධාරීන් පත් කර ආණ්ඩුව කිච වූ තවත් අවස්ථාවක් වූවේ සහල් ප්‍රශ්නය විසඳීම සඳහා පාරිභෝගික අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ හමුදා නිලධාරියා මැදිහත්වී සහල් මිල පාලනය කරන බව පැවසීමෙන් පසුත් විශාල සහල් මෝල් හිමියන් සත පහකට එය මායිම් නොකිරීම නිසයි. ඉන පසු හමුදාව හාල් මිලදී ගත් බව පැවසූ පුරසාරම් කතාද නැවතුණි. කොවිඩ් වසංගතය සම්බන්ධ කටයුතු අධීක්ෂණය කරන රාජ්‍ය ව්‍යුහයේ ප්‍රධානියා ලෙස සෞඛ්‍ය නිලධාරීයෙකු පත් නොකර ඒ තනතුර සඳහා හමුදාපතිවරයා පත්කිරීමෙන් පසු සිදුවූයේ රෝගය පෙරට වඩා වේගයෙන් රට තුළ පැතිරීමයි. නැතිනම් කොවිඩ් ආසාදිතයන්ට අපරාධකාරයන් ලෙස සළකන තත්ත්වයක් නිර්මාණය වීම පමණි.

සන්නද්ධ හමුදාව පත්කළ පමණින් අමුතු දෙයක් සිදු වෙන බව ආණ්ඩුව පෙන්නීමට උත්සාහ කළද සිදුවන එකම දෙය වන්නේ ආණ්ඩුවේ මර්දන යාන්ත්‍රණය ශක්තිමත් වීම බව පැහැදිලිය.

සන්නද්ධ හමුදා පත්කිරීම් ගැන අලුතින්ම වාර්තා වූ පුවත වන්නේ ගල්කොරි අධීක්ෂණය සඳහා හමුදා නිලධාරියෙකු පත් කිරීමයි.

පරිසර ඇමැති මහින්ද අමරවීර පවසන පරිදි දිවයින පුරා තිබෙන සියලූ ගල් කොරිවලට ලබා දෙන පුපුරන ද්‍රව්‍ය නිසි පරිදි භාවිතා කිරීම පිළිබඳව හා ගල්කොරි අධීක්ෂණය කිරීම සඳහා විශ‍්‍රාමික හමුදා නිලධාරියකු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මාවනැල්ල ගල් කොරියක පුපුරන ද්‍රව්‍ය අතුරුදන්වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඇමතිවරයා සඳහන් කර ඇත.

ගල්කොරි ආශ‍්‍රිතව සිදුවන වෙනත් නීතිවිරෝධී කටයුතු මෙන්ම පරිසරයට හා ගල්කොරි අවට සිටින ජනතාවට හානිවන අයුරින් පිපිරවීම් සිදු කරන්නේ ද යන්න සොයා බැලීමත්, අනෙකුත් ගල්කොරිවල මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේද යන්නත් අධීක්ෂණය කිරීම විශ‍්‍රාමික ඉහළ හමුදා නිලධාරියා හරහා සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

මීට අමතරව පසුගිය දින කිහිපයේ වාර්තා වූ තවත් ප්‍රවෘත්තියකින් කියවුණේ ගුරු හිඟය පවතින පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ කළ යෝජනාවකට අධ්‍යාපන
අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇත.

ප්‍රථමයෙන්ම වව්නියාව ආශ්‍රිත දුෂ්කර පාසල් දරුවන්ට ඉහත විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදාව යෙදවීමට නියමිත ය. සෙසු ප්‍රදේශවල දුෂ්කර පාසල් සඳහා ද ගුවන් හමුදා සාමාජිකයන් යොදවා දරුවන්ට ඉගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසා ඇත.

එසේම කොවිඩ්-19 වසංගත පාලන කටයුතු ශක්තිමත් කිරීමට බව පවසමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් සඳහා හමුදා නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම පත්කිරීම් සිදුකර ඇති අතර යුද්ධ හමුදාධිපතිවරයා ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

පසුගියදා මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් සිදුකරමින් තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය ද හමුදාව විසින් සියතට ගන්නා ලදී.

leave a reply