මහින්ද රාජපක්ෂ පාලනය විසින් ලලිත් සහ කුහන් පැහැරගෙන වසර 11ක්!

Date:

ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ අද වැනි දිනකය.

මීට හරියටම වසර 11කට පෙරාතුව 2011 දෙසැම්බර් 9වැනිදා ලලිත්ට හා කුහන්ට ජීවිතයේ තීරණාත්මක වූ දිනය උදා විය.

පෙරවරු 11ට පමණ, අවිස්සාවේල්ල සිරිනිවාස වත්තේ ජීවත්වූ ලලිත්ගේ පියාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණි. තමන් කවුරුන්දැයි හඳුන්වා නොදී කතා කළ පුද්ගලයා පවසා ඇත්තේ පුතා වහාම යාපනයේ සිට නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. එසේ නොකළොත් තමන් විසින් එය කරන බව ඒ තැනැත්තා ලලිත්ගේ පියාට තර්ජනය කර තිබිණි.

සවස 5.00ට පමණ අවරන්ගල්හි කුහන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත් වූයේ පසු දින එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනයේ අතුරුදන්වූවන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත වූ ජනමාධ්‍ය සාකච්ඡාවක් සඳහා කටයුතු සූදානම් කිරීමටය. එහෙත් ඉන්පසුව ඔවුන් ගැන තොරතුරක් නොමැති වුවත් ඔවුන් ගමන්ගත් යතුරුපැදිය පොලිස්භාරයේ තිබී හමු විය.

පැහැරගැනීම ගැන ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් පැහැරගැනීමක් සිදුව නැති බවද ඔවුන් ආරක්ෂක අංශ විසින් මහෙස්ත්‍රාත් වෙත පමුණුවනු ඇති බවද පැවසුවේ එවකට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල විසිනි.

ලලිත් හා කුහන් පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධව අනාවරණය කිරීමට කාරණා ඇතත් ඒවා තවත් කාරණා හා සම්බන්ධ නිසා එසේ නොකරන බව කීවේ තවත් ඇමතිවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස එවකට සේවය කළ මහජනතාව විසින් එළවා දැමූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලලිත් හා කුහන් සම්බන්ධ දන්නා යමක් අනාවරණය කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවන ලද නමුත් ජනාධිපතිවරයා කැඳවන්නට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බව තීන්දු කළේ අභියාචනාධිකරයයි.

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂි ලබාදීමෙන් ‘පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ’ ගැලවී සිටියේ මුක්තිය ඉදිරියට දමමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය යටතේ ජනාධිපතිවරයකුට ධුරය දරන කාල සීමාවේදී මුක්තියක් හිමි වේ.

එනම් ඔහුව හෝ ඇයව හෝ අධිකරණය ඉදිරියට කැඳවිය නොහැකිය. ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අවධාරණය කරන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂට එරෙහි සියලු නඩු පවත්වාගෙන යා හැකි බවයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ මූලික ම කරුණක් වන සියලු පුරවැසියන්ට නීතිය සමාන බව තහවුරු කිරීමට එය අත්‍යවශ්‍ය බව ද ඔවුන් පෙන්වා දෙයි. නමුත් දැන් ගෝඨාභයට එවැනි මුක්තියක් නැත.

අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධව 2012 වසරේ සිට යාපනයේ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් හොඳින්ම පැහැදිලි වූයේ ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ යටතේ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූ රජයේ ආරක්ෂක අංශ ලලිත් හා කුහන් පැහැරගෙන ගිය බවය.

ඒ නිසා යුද සමයේ දහස් ගණනක් අතුරුදන් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පමණක් නොව, ලලිත් කුහන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට මෙන්ම මහින්ද රාජපක්ෂ ද තවදුරටත් චෝදනා එල්ලවීම වැළැක්විය නොහැකිය.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...