Day: November 6, 2020

  • සුදර්ශන පැණිය ආයුර්වේද පර්යේෂණ ආයතනයවත් අනුමත කළ එකක් නෙමෙයි – වෛද්‍ය ගිශාන්ත දසනායක

    සුදර්ශන පැණිය ආයුර්වේද පර්යේෂණ ආයතනයවත් අනුමත කළ එකක් නෙමෙයි – වෛද්‍ය ගිශාන්ත දසනායක

    සෞඛ්‍ය රාජ්‍ය ඇමති චන්න ජයසුමන විසින් විශාල ප්‍රචාරයක් ලබාදෙමින් සිටින සුදර්ශන පැණිය ලංකාවේ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය හෝ ආයුවේද වෛද්‍ය පර්යේෂණ ආයතනය යන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අදාළ ආයතන තුන විසින්වත් අනුමත නොකරන ලද්දක් බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයේ වෛද්‍ය ගිශාන්ත දසනායක පවසයි. සුදර්ශන පැණිය යනු පෞද්ගලික සමාගමක් විසින් විකුණන බෙහෙතක වෙළෙඳ නාමය බවද ඔහු පවසා තිබේ.

    සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවේ කොරෝනා මර්දනය සඳහා හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ අසාර්ථක බව දෙවැනි කොරෝනා රැල්ල ව්‍යාප්ත වන ආකාරයෙන් පැහැදිලි වන බවත් එම නිසා වසංගත රෝග විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ යුතු බවයි.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ යම් අමානුෂික ස්වරූපයක් සහ මිලිටරිකරණයක් පෙනෙන්නට ඇති බවයි. ලංකාවේ වසංගත රෝග විශේෂඥයන් සැලකිලය යුතු පිරිසක් සිටින බවත් ඔවුන් සම්බන්ධ කර ගනිමින් දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ප්‍රතිව්‍යූහගත කළ යුතු බවත් වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවේය.

    එමෙන්ම, මිත්‍යා මත පතුරවන ඖෂධ නිෂ්පාදන රාජ්‍ය ඇමැති වෛද්‍ය චන්න ජයසුමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන බවද වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවේය.

    ”චන්න ජයසුමන රාජ්‍ය ඇමැතිවරයා සුදර්ශන පැණිය කියලා පැණියක් අරගෙන රටපුරා යනවා. අපි මේ පිළිබඳව විමසුවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අදාළව රටේ ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. එකක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව, අනෙක ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය සහ ආයුවේද වෛද්‍ය පර්යේෂණ ආයතනය. මේ ආයතන තුනම මේ සුදර්ශනී පැණිය කොරෝනා රෝගයට සුදුසු බවට පරීක්ෂණ කරලා අනුමත කරලා නෑ. සුදර්ශන පැණිය කියන්නේ පෞද්ගලික සමාගමක් විසින් විකුණන බෙහෙතක වෙළෙඳ නාමය. සුදර්ශනී චූර්ණය කියලා බෙහෙතක් ආයුර්වේදයේ තිබෙනවා. නමුත් එය ලබා දෙන්නේ සෙම්ප්‍රතිෂ්‍යාව උත්සන්න වීම නිසා උණ හැදුණු කුඩා දරුවන්ට. ඒත් ඒ සඳහා පුහුණුව ලත් වෛද්‍යවරයකුගේ නිර්දේශයක් සහිතව පමණයි. මේ සුදර්ශන පැණිය කියන්නේ සුදර්ශනී චූර්ණය මත පදනම්ව පෞද්ගලික සමාගමක් හැදූ බෙහෙතක්.

    ඒ වගේම මේ ඖෂධයේ අධික ලෙස සීනි අන්තර්ගත වෙනවා. අපි දන්නවා කොරෝනා රෝගය දියවැඩියා රෝගීන්ට මරණය පවා කැඳවන්න පුළුවන්. ඒ නිසා දියවැඩියා රෝගියෙක් මේ සුදර්ශන පැණිය පාවිච්චි කළොත් ඔහු කොරෝනා රෝගය නිසා මරණයට පත්වන්න පවා ඉඩ තිබෙනවා.”

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය දුම් හට්ටියක් රැගෙන රට වටා යන බවත් ඒලියන්ත වයිට් නමැත්තා රජයේ අමැතිවරුන්ද සම්බන්ධ කර ගෙන විශ්වශක්ති මුට්ටි ගංගාවලට මුදා හරිමින් සිටින බවත් පැවසූ වෛද්‍ය ගිශාන්ත දසනායක මේවා මිත්‍යා විශ්වාස පමණක් බවත් මේවායින් කොරෝනා වසංගතයට කිසිදු බලපෑමක් නොවන බවත් පෙන්වා දුන්නේය. රජය මෙම මිත්‍යාවන් පැතිරවීමට අනුබල දෙන නිසා ජනතාව ඒවා විශ්වාස කරන තත්වයක් නිර්මාණය වී තිබෙන බව කී ඔහු මෙය වසංගතය තවත් ව්‍යාප්ත වීමට හේතු වී තිබෙන බවද පැවසුවේය. මේ නිසා මිත්‍යා විශ්වාසවල එල්බගෙන නොසිට, නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් වසංගතය පැතිර යාම පාලනය කිරිමට රජය කටයුතු කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

  • බ්‍රැන්ඩික්ස්  පොකුර ගැන විමර්ශනය කරන නිලධාරීන්ට කොවිඩ් වැළඳිලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශනය කරන නිලධාරීන්ට කොවිඩ් වැළඳිලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව තුළට කොවිඩ් වෛරසය පැමිණියේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන කටයුතු භාරව සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් රැසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම නිසා විමර්ශන කටයුතු පවත්වාගෙන යාම ගැටලුවක් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

    අදාල කර්මාන්ත ශාලාවේ සේවකයන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නමුත්, පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ එම කටයුතු ආරම්භ කිරී‍මේ අපහසුතාවයක් මතුව ඇති බව අජිත් රෝහණ පවසා ඇත.

    මෙම ගැටලුව පිළිබඳව පෞද්ගලික ‍රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
    මෙලෙස අදහස් දක්වා තිබේ.

    බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබූ අතර කෙසේ වෙතත් එම විමර්ශන කටයුතු තවමත් ආරම්භ කර නොමැත. නීතිපතිවරයා පසුගියදා දැනුම් දී තිබුණේ විමර්ශන ආරම්භ නොකරන්නේ නම් ඒ සඳහා පත්කළ විමර්ශන කණ්ඩායම සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙසයි.

     

     

  • රුධිරය පරිත්‍යාග කරන ලෙසට ලේ බැංකුවෙන් ඉල්ලීමක්

    රුධිරය පරිත්‍යාග කරන ලෙසට ලේ බැංකුවෙන් ඉල්ලීමක්

    පවතින තත්ත්වය හමුවේ පසුගිය දිනවල රුධිර පරිත්‍යාග කිරීම් අඩුවීම හේතුවෙන් රුධිර හිඟයක් ඇති වී තිබෙන බව ජාතික රුධිර පාරවිලයනය සේවයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ සඳහන් කර සිටියි.

    බස්නාහිර පළාතේ පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලට දැඩි බලපෑම් ඇති වී තිබෙන බව වාර්තා වේ.

    මේ හේතුවෙන් රුධිර පරිත්‍යාග කිරීමට කැමති අයට ඒ සඳහා අවස්ථාවක් හිමිවන බවත් මේ පිළිබඳව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට හැකි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    ඔබට ළඟම ලේ බැංකුව පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයනය සේවයේ මෙම http://www.nbts.health.gov.lk/ වෙබ්අඩවියට පිවිසෙන්න.

  • විශාලතම හරිතාගාර වායු විමෝචක ඇමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වෙයි!

    විශාලතම හරිතාගාර වායු විමෝචක ඇමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වෙයි!

    දේශගුණික වෙනස්වීම් අවම කිරීම පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය පසුගියදා නිල වශයෙන් ඉවත් විය. පැරිස් එකඟතාව 2015 වර්ෂයේ දී කෙටුම්පත් කෙරුණේ දේශගුණ වෙනස්වීමට එරෙහි ගෝලීයව ගතයුතු ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමටයි.

    එහි අරමුණ මේ සියවසේ ගෝලීය උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 2කට අගයෙන් පහළ තබා ගනිමින් උෂ්ණත්ව වර්ධනය 1.5C අගය වෙත තබා ගැනීමට උත්සාහ දැරීම යි.

    ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැරිස් සම්මුතියෙන් ඉවත්වීමේ තීරණය ගනු ලැබුවේ 2017 වසරේ ජූනි මස වූ අතර, ඊයේ සිදුවූයේ නිල වශයෙන් එම තීරණය ක්‍රියාත්මක වීමයි. මුළු ලෝකයම පැරිස් සම්මුතිය, දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ වැදගත්ම ජාත්‍යන්තර සම්මුතිය ලෙස සලකද්දී ට්‍රම්ප් දේශගුණික වෙනස්වීම් සැලකුවේ ‘‘එහෙම දේවල් නෑ‘‘ හෝ ‘‘චීනයේ වැඩක්‘‘ වැනි අදහසකිනි. පැරිස් සම්මුතිය මගින් නියම කරන කොන්දේසි හරහා පරිසරය සුරැකීම රටේ සංවර්ධනයට බාධාවක් වශයෙන් ද ඔහු සැලකුවේය.

    මෙම පැරිස් සම්මුතියට ඇමරිකා එක්සත් ජනපදය අත්සන් කළේ බැරක් ඔබාමා ජනාධිපතිව සිටි සමයේදීයි.

    ඒ අනුව පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ලොව ප්‍රථම රට බවට ද ඇමරිකා එක්සත් ජනපදය පත් විය. මෙයට පෙර ද ඇමරිකාව පාරිසරික ගිවිසුම්, සම්මුති සහ එකඟතාවයන් සම්බන්ධයෙන් මෙයට සමාන අත්දැකීම් ලබා තිබේ.

    1997 වසරේදී ඇමරිකාව දේශගුණය සුරැකීමට අදාළ කියොතෝ සම්මුතියට ජාත්‍යන්තර වේදිකාවේදී එකඟ වුවත්, ක්ලින්ටන් පරිපාලනය ඒ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලබාගැනිමට අසමත් විය.

    මෙසේ පැරිස් සම්මුතියෙන් ඉවත් වූයේ මිහිතලය උණුසුම් වීමට බලපාන හරිතාගාර වායූන් විමෝචනයන්ගෙන් 15%කට, එනම් වැඩිම කොටසකට වග කිව යුතු රාජ්‍යය වීම ඛේදවාචකයකි. ලෝකයේ විශාතලම හරිතාගාර වායු විමෝචකයා ඇමරිකාව වන අතර, ලෝකයේ වැඩියෙන්ම හරිතාගාර වායු විමෝචනය කරන ප්‍රබල ආර්ථිකය වන්නේ ද ඇමරිකාවයි.