Breaking News

2020 ලෝක මතකයන්

කුසල් කාවින්ද අමරසිංහ

2020 වසර පිළිබඳ කෙටි ප්‍රත්‍යාවලෝකනයක්.

▪️ඕස්ට්‍රේලියාව ගිනිගනී.
21 වන සියවසේ තෙවැනි දශකය ආරම්භ වූයේ පෘථිවියේ පරිසරය වෙත දැඩි අහිතකර තත්ත්වයක් නිර්මාණය කරමිනි. ඔස්ට්‍රේලියාව පුරා ඇති වී තිබූ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ජනවාරි 02 දා නිව් සවුත්වෙල්ස් ප්‍රාන්ත රජය මඟින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලදී. වනසතුන් විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි කළ මෙම ලැව්ගින්න හේතුවෙන් පෘථිවි වායුගෝලය වෙත සැලකියයුතු තරමේ කාබන්ඩයොක්සයිඩ් අධිප්‍රමාණයක් එක්වූ බව විද්‍යාඥයන් විසින් පසුව අනාවරණය කරන ලදී.

▪️ඉරාන-ඇමරිකානු අර්බුදය උත්සන්න වේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙන්ටගනය වෙත සිදු කළ සෘජු අණදීමක ප්‍රතිඵලයක් ලෙස ගල්ෆ් කලාපයේ ඉරාක මිලිෂියා කණ්ඩායම් වෙත නායකත්වය සැපයූ ඉරානයේ ඉහළම හමුදා නිලධාරියා වූ ජෙනරාල් කාසිම් සුලෙයිමානි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජනවාරි 03 වන දින මරුමුවට පත්විය. ඉරාන-ඇමරිකානු අර්බුදය වඩාත් ත්‍රීවූර කළ මෙම ප්‍රහාරයෙන් පසු ඉරාන හමුදා විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී. මෙම තත්ත්වය තෙවන ලෝක යුද්ධයකට හේතුවිය හැකි වාතාවරණයක් නිර්මාණය කරනු ඇති බවට විවිධ අදහස් පල විය. එහෙත් ඉරාන විදේශ කටයුතු ඇමතිවරයා වූ මොහොමඩ් ජවාඩි සරීෆ් විසින් සිදු කළ ඉතා වැදගත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශයකින් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි තවදුරටත් සටන්වැදීම ඇමරිකානු අභිලාශය නොවන බව ප්‍රකාශ කරන ලදී.

▪️හඳුනා නොගත් නිවුමෝනියා තත්ත්වයක් චීනයෙන්.
2019 වසරේ සිට රෝගීන් වාර්තා වෙමින් පැවති හඳුනානොගත් නිවුමෝනියා තත්ත්වයක් චීනය තුළ ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය බලධාරීන් මුල්වරට ජනවාරි මස පළමු සතියේ දී ප්‍රකාශ කරන ලදී. මෙය 2020 වසර පුරාවට ලෝකයම බියෙන් සලිත කළ මහා වසංගතයක මූලාරම්භය යැයි කිසිවෙකුත් සැක කළේ නැත.

▪️ඇමරිකානු-චීන වෙළඳ ගිවිසුම.
ඇමරිකාව අභිබවා ගෝලීය ආර්ථිකය තුළ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටි චීනය සමඟ පොරබැදීම වෙනුවට සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බවට තීරණය කළ ඇමරිකා එක්සත් ජනපදය ‘එක් පාර්ශවයක් වෙනුවෙන් වන වෙළඳ ගිවිසුම’ (Phase One Trade Deal) සඳහා මහජන චීන සමූහාණ්ඩුව වෙත ආරාධනා කරන ලදී. ඒ අනුව, මෙම ගිවිසුමට ජනවාරි 15 වන දින ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උප-ජනාධිපති ලියූ හේ විසින් වොෂින්ටනයේදී අත්සත් තබනු ලැබීය.

▪️ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක්.
චීනයේ හුබෙයි පළාතේ පැවති හඳුනානොගත් නිවුමෝනියා තත්ත්වයට හේතුව SARS CoV 19 වෛරසය බව අනාවරණය කරගැනීමෙන් පසු චීනයෙන් පිටත යුරෝපය පුරා වෛරස ආසාධිත රෝගීන් අඛණ්ඩව වාර්තා විය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනවාරි 30 වන දින ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කරන ලදී.

▪️බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වේ (Brexit).
ජනවාරි 31 වන දින බ්‍රිතාන්‍යය විසින් යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් නිල වශයෙන් ඉවත් වූ අතර, 2020 දෙසැම්බර් මස 31 වැනි දින සිට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව 2020 වසර අවසානයත් සමඟ බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයක් බවට පත් නොවනු ඇත.

▪️ට්‍රම්ප් දෝෂාභියෝගය ජයගනී.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බලය අවභාවිත කළ බවට චෝදනා කරමින් කොංග්‍රසයේදී සම්මත වූ දෝෂාභියෝග යෝජනාවලියට පෙබරවාරි 05 වන දින සෙනෙට් මණ්ඩල අනුමැතිය හිමි නොවුණි.

▪️පරිසරය වෙනුවෙන් අනාගත පරපුර අරගල කරයි.
ස්විඩන් ජාතික ග්‍රේටා ටර්න්බර්ග් නම් නව යොවුන් පරිසර ක්‍රියාකාරිනියගේ නායකත්වය යටතේ ලොව පුරා තරුණ පරපුර පෘථිවි මව් ග්‍රහයාගේ අනාගතය වෙනුවෙන් උද්ඝෝෂණ සිදුකරන්නට විය. දහස් ගණනක් පරිසර ක්‍රියාකාරිකයන් මාර්තු 6 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට රැස්විය.

 

▪️ගෝලීය ප්‍රජාව ව්‍යවසනයක් අභිමුව.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදෙන වඩාත් දරුණුතම යුධමය නොවන තර්ජනයට ගෝලීය ප්‍රජාව මුහුණදෙමින් සිටින බවත් එය කොරෝනා වසංගතය බවත් අප්‍රේල් 09 වන දින එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ආරක්ෂක මණ්ඩලය හමුවේ පවසයි. අප්‍රේල් 22 වන දින මහලේකම්වරයා ප්‍රකාශ කරන ලද්දේ ගෝලීය වසංගතයට අමතරව දේශගුණික අර්බුදයටද ලෝක ප්‍රජාව වෙත මුහුණදීමට සිදුවී ඇති බවයි.

▪️තෙල් බැරලයක මිල සෘණ අගයකට පහළ බසී.
COVID19 වසංගත තත්ත්වය හමුවේ ගෝලීය වෙළඳපොල බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 20 වැනි දින ඇමරිකානු ඛණිජතෙල් මිල සටහනේ බොර තෙල් බැරලයක ප්‍රක්ෂේපිත මිල -$37.63 ක් ලෙස සටහන් විය. ලෝක ඉතිහාසයේ පළමුවරට බොර තෙල් බැරලයක ප්‍රක්ෂේපිත මිල සෘණ අගයක් ගනු ලැබූ අවස්ථාව ලෙස මෙය සැලකිය හැක.

▪️ලොව පුරා උද්ඝෝෂණ හා අරගල.
ආර්ථික හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් හා පාරිසරික විනාශයට එරෙහිව ලොවපුරා උද්ඝෝෂණ මාලාවක් සිදු විය. ලතින් ඇමරිකානු කලාපය පුරාවට, යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, අග්නිදිග ආසියාවේ, මැදපෙරදිග හා දකුණු ආසියාව පුරා කම්කරු, ගොවි සහ ශිෂ්‍ය අරගල රැසක් නිර්මාණය විය.

▪️ඉන්දු-චීන දේශසීමා අර්බුදය උත්සන්න වේ.
ලඩාක් ප්‍රදේශයේ ඉන්දීය හා චීන දේශසීමාවේ ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයන් 22ක් ජුනි 15 වැනි දා ඝාතනයට ලක්විය. මෙය දෙරට අතර විරසකභාවය වඩා වර්ධනය කිරීමට සමත් විය. කලාපීය මෙන්ම ගෝලීය සාමයට ද බාධාවක් වියහැකි ආකාරයේ අර්බුදකාරී තත්ත්වයක් ඉන් ඉස්මතු විය.

▪️පුටීන් බලය තහවුරුකරගනී.
ජුලි මස 01 දා පැවති රුසියානු ජනමතවිචාරණයෙන් අනතුරුව වසර 2036 වනතුරු ජනාධිපති ධුරයේ රැඳී සිටීම සඳහ වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගැනීමට ජනපති පුටීන් සමත් විය.

▪️ලෙබනනය පුපුරයි.
ලෙබනනයේ බේරූට් වරාය තුළ අනාරක්ෂිත ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් තොගයක් අගෝස්තු 05 දින හදිසියේ පුපුරා යාමෙන් 200කට ආසන්න පිරිසක් මරුමුවට පත්විය. මෙය මෑතකාලීන ඉතිහාසය තුල සිදුවූ විශාලතම රසායනික පිපිරීම ලෙස හඳුනාගනු ලැබීය.

▪️න්‍යෂ්ඨික ප්‍රහාරයකට රුසියාව අනතුරු අඟවයි.
තම දේශසීමාව වෙත ළඟා වන ඕනෑම බැලස්ටික මිසයිලයක් න්‍යෂ්ඨික මිසයිලයක් ලෙස සලකා කටයුතු කරන බවට රුසියානු හමුදා ප්‍රධානීන් අගෝස්තු 07 වන දින අනතුරු ඇඟවීමක් සිදුකරන ලදී. මෙය ඇමරිකානු න්‍යෂ්ඨික සංවර්ධන කටයුතු වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යුධ විශේෂඥයන් විසින් විග්‍රහ කරනු ලැබීය.

▪️ආර්මේනියානු-අසර්බයිජාන යුධගැටුම් උත්සන්න වේ.
වාර්ගික අනන්‍යතාවය හා භූගෝලීය පිහිටීම මත පදනම්ව නගෝනෝ-කර්බක් ප්‍රදේශය පිළිබඳ ආර්මේනියාව හා අසර්බයිජානය අතර පැවති ගැටුම් සැප්තැම්බර් මස දී යුද්ධයක් බවට පරිවර්තනය විය.

▪️වසංගතය හේතුවෙන් මිලියන ගණනක් මරු දකී.
COVID19 වසංගතය හේතුවෙන් ඔක්තෝබර් මස වන විට මිලියන 1.81 ක පිරිසක් මරණයට පත්ව තිබුණි. ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපයේ බොහෝ රටවල් ඉහළ මරණ අනුපාතයන් වාර්තා කරන ලදී.

▪️ඇමරිකානු ජනාධිපතිවරණය.
ලෝක දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය පමණක් සම්පූර්ණ කරමින් 2020 නොවැම්බර් 03 දින පැවැත් වූ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් විය. ජයග්‍රාහකයා බවට පත් වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස 2021 ජනවාරි මස දී දිවුරුම් දීමට නියමිතය.

▪️චීනය සඳ ජයගනී.
චැන්ග්-5 අභ්‍යවකාශ යානය සඳෙහි පාෂාණ රැගෙන නැවත පැමිණීමට සමත් වූ බව මහජන චීන සමූහාණ්ඩුව ප්‍රකාශ කර කරන ලදී. මෙහෙයුම අතරතුර දෙසැම්බර් 04 වන දින චීන ජාතික ධජය සඳ මත රැඳවීමට එම රොබෝ අභ්‍යවකාශ යානය සමත් විය.

▪️වසංගතය හමුයේ නව බලාපොරොත්තුවක්.
ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතය හමුවේ රුසියාව, බ්‍රිතාන්‍යය හා චීනය SARS CoV-19 වෛරසයට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ එන්නත් නිර්මාණය කිරීම ආරම්භ කරන ලද අතර එම එන්නත් සායනික පර්යේෂණ වල දී වඩාත් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කරනු ලැබීය. ඒ අනුව රුසියාව සිය ස්පුට්නික් එන්නත ද, බ්‍රිතාන්‍යය විසින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රා සෙනෙකා එන්නත ද, චීනය සිනෝපාර්ම් එන්නත ද සාමාන්‍ය ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.

leave a reply