මේ වනවිට ආණ්ඩුව ජෛවමිතික දත්ත සහිත ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ සම්බන්ධ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න විදේශ ඇමති විජිත හේරත් කටයුතු කළා. ජනාධිපති අනුර දිසානායක ඉන්දිය සංචාරය තුළ අත්සන් කළ ගිවිසුම් අතර ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දෙන්න ඉන්දිය සමාගමක් කැඳවා ගැනීමේ අරමුණින් කළ ගිවිසුමක්ද ඇති බව විජිත හේරත් ඇමතිවරයා ජනවාරි 22 Sunday Times පුවත්පතට ප්‍රකාශ කර තිබුණා.
ජවිපෙ විපක්ෂයේ සිටියදී රනිල්ලා මහින්දලා ජෛවමිතික තොරතුරු දත්ත ගබඩාවක තැන්පත් කරලා හැඳුනුම්පත් හදන්න සැලසුම් සකස් කළා. ඒ වෙලාවෙ පෙ.ස.ප හැටියට අපි විරෝධය පළ කළා. නමුත් ජවිපෙ මේ ගැන කතා කළේ නැති තරම්. නමුත් ජා.ජා.බ. එක්ක ඉන්න ඇතැම් ලිබරලුන් එදා මේ ගැන කතා කළා. දැන් සමහරු තර්ක කරන්නෙ ජෛවමිතික හඳුනාගැනීම් කිසිම ප්‍රශ්නයක් නැති විදියට. සමහර ලිබරලුන් කියනවා, “පුද්ගලිකත්වය කියල එකක් දැන් ලෝකෙ කිසිකෙනෙකුට නෑ” කියලත්. ස්මාට් ෆෝන් හරහා ජෛවමිතික දත්ත දැනටමත් භාවිත වන නිසා ඔවුන් එහෙම කියනවා. නමුත් සමහරු විරෝධය අවතක්සේරු කරන්න, හෑල්ලු කරන්න කියන විදියට මේ ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය ගැන විරෝධයක් නෙවෙයි. විරෝධය මතු වෙන්නෙ, ජෛවමිතික දත්ත ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පත් සම්බන්ධයෙන්.
⭕️ මහින්ද-රනිල් හැදූ සැලසුම
ආණ්ඩුව ඉන්දියන් සමාගම් කැඳවාගෙන ක්‍රියාත්මක කරන්න හදන්නෙ රනිල්ලා-මහින්දලා සැලසුම් කළ ජෛවමිතික දත්ත සහිත ඩිජිටල් හැඳනුම්පත් ව්‍යාපෘතියයි. ඒකට විරුද්ධ වෙන එක තේරුමක් නැති බවයි ඇතැම් ජා.ජා.බ. ආධාරකරුවන්ගෙ තර්කය. නමුත් යුරෝපයේත් අමෙරිකානු රටවලත් ජෛවමිතික දත්ත භාවිතයට එරෙහි අරගලයක් තියෙනවා.
විශේෂයෙන්ම මේ වනවිට ලංකාවෙ පොලිසිය විසින් නූතන තාක්ෂනය භාවිත කරමින් CCTV, ඩ්‍රෝන මගින් ගන්නා වීඩියෝ හෝ ඡායාරූප යොදාගනිමින් විරෝධතාකරුවන් හඳුනාගැනීමේ ක්‍රමය පාවිච්චි කරනවා. පොලිසියට මෙම නවීන CCTV පහසුකම් ලබා දෙන අවස්ථාවෙ ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ සමාජයේ අපරාධ වැඩිවීම නිසා අපරාධකරුවන් දඩයම් කරන්න මේ ක්‍රම මගින් නිරීක්ෂනය කරන්න පොලිසියට CCTV සහ පහසුකම් ලබා දී ඇති බවයි. අවසානයේ කොළම නගරයේ ව්‍යාපාරිකයන් මරා දැමූ අවස්ථාවලදි එම ඝාතකයන් සොයාගන්න නොහැකි ලෙස CCTV දර්ශන අතුරුදන් කෙරුණා. ඒ නිසා ආණ්ඩුව කියන දේ හා කරන දේ අතර වෙනස්කම් තිබෙනවා. දැන් ක්‍රියාත්මක කෙරෙන ආකාරයට මෙය සමාජයක විරෝධය දැක්වීමට ඇති අයිතිය, දේශපාලන නිදහස, මතයක් දැරීමේ නිදහස අහිමි කරනවා. ඒ සියල්ල මැද මේ, ඇඟිලි සලකුණු, කණිනිකාව, DNA සහ මුහුණුවර හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතයට එන්නෙ. කෙසේවුවත් තවමත් මෙම නිරීක්ෂන යොදාගෙන පුද්ගල අයිතිය උල්ලංඝනය කිරීමට නීතිමය වශයෙන් ප්‍රතිපාදන නැති බවත් කියනු ලබනවා.
ලෝකයේ දැනටමත් විරෝධතා නිරීක්ෂණය කරමින් එහි සිටින පුද්ගලයන් හඳුනාගැනීමට වීඩියෝ ඇසුරෙන් AI තාක්ෂණය හා මුහුනේ ලක්ෂණ හඳුනාගැනීම මෙන්ම දුරකතනයේ Location භාවිතයට ගන්නවා. ඒ නිසාම පෞද්ගලිකත්වය, සාමුහික විරෝධය දැක්වීමේ අයිතිය, දේශපාලන අයිතිය හා අදහස් පළ කිරීමේ නිදහසට තර්ජනයක් ඇති කරයි.
විරෝධතා අතරතුර ආක්‍රමණශීලී ලෙස නිරීක්ෂණ තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් විරෝධය උත්සන්න වෙමින් තිබෙනවා. බොහෝ විට ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ආරක්ෂා කළ යුතු අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙනවා.
විරෝධතා නිරීක්ෂණ සඳහා නවීන තාක්ෂණය යොදගනිමින් විරෝධතාවලට සහභාගී වීම නිසා පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, එවැනි පුද්ගලයන් පිලිබඳ දත්ත එකතුවක් සැකසීම, එම තොරතුරු විශ්ලේෂණය කිරීම හරහා පවතින පාලනයට විරුද්ධ පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීමට සහ රජයේ මර්දනකාරී අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම සිදු වේ. එක් අතකින් මෙය සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන බවටත් අධිකරණය හමුවේ වරදකරුවකු බව සනාථ කරන තුරු සැකකරුවකු ලෙස නිර්දෝෂිත්වය පිලිගැනීමටත් ඇති අයිතිවාසිකම සහ මූලික පිලිගැනීම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. එසේම මෙය විරෝධතාවල යෙදෙන පුද්ගලයන්ට වෙනස් ලෙස සැලකීමට රජය විසින් පූර්වයෙන් සැලසුම් කිරීමකි.
⭕️ සමාජයක් සිරකඳවුරක් බවට පත්වීමේ අනතුර
මේ ජෛවමිතික දත්ත රැස්කිරීම හා ආරක්ෂක අංශ විසින් භාවිත කිරීම ගැන වැඩියෙන්ම කලබල විය යුතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයයි. Big Brother is Watching You! යන අදහස ජෝර්ජ් ඕවෙල් විසින් සිය ‘1984’ කෘතියෙන් හඳුන්වා දුන්නෙ මේ නිරීක්ෂණය මගින් නිදහස අහිමි කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණය ගැනයි.
විරෝධතාවලදී විවිධ තාක්ෂණික උපකරණ යොදාගෙන කරන පුද්ගල නිරීක්ෂණ මගින් පුද්ගලයකුගේ ස්වාධීනත්වය සහ ගෞරවය කෙලෙසයි. රාජ්‍ය බලය හමුවේ ජනතා පරමාධිපත්‍ය හෑල්ලු කර ප්‍රජාන්ත්‍රවාදය පිළිබඳ අතිමූලික මූලධර්ම කුඩුපට්ටම් කරයි. සමාජයේ අසමතුලිතතාවයන්ට ඉඩ සලසමින් පුද්ගල නිදහසට බාධා කිරීමට ඉඩ සලසන අතර නිදහසේ අදහස් පළ කිරීමට මෙන්ම වෙනත් පුරවැසියකු සමග කතා කිරීමට පවා බිය දනවන වාතාවරණයක් නිර්මාණය කරයි.
නිශ්චිතව සැකයේ සහ තර්ජනයේ පරිසරයක් නිර්මාණය කරන අතර, පිළිගත් නීති අනුව පවා කිසිදු වැරැද්දක නිරත නොවන පුද්ගලයන්ට ඔවුන්ගේ ක්‍රියාවන්, පළ කරන අදහස් සහ සන්නිවේදනය කරන ආකාරය ඇතුළු සමස්ත පෞද්ගලික හ සමාජ හැසිරීම වෙනස් කිරීමට සිදුවන බලපෑමක් ඇති කරයි.
ඒ නිසා සියවස් ගණනක් වර්ධනය වූ පුද්ගල නිදහස සම්බන්ධ පිළිගත් ක්‍රමවේදයන් මෙන්ම සිතීම, තෝරාගැනීම හා ක්‍රියාත්මක වීම සහිත සබුද්ධික මිනිස් සමාජයක් ලෙස අපගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම වළක්වයි. එනිසා සමාජයේ සාමුහික කේවල් කිරීමේ නිදහස, බල ව්‍යුහයන් අත්හදා බැලීමට සහ සමාජ අනුමැතිය සහිතව පවතින බලයට අභියෝග කිරීමට සහ අකැමැති බලය වෙනස් කිරීමට ඇති නිදහස උල්ලංඝනය කරයි. අවසානයේ ඉතිරිවනු ඇත්තේ අප අද අත්විඳින සීමිත ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවා අහිමි, සමාජ ප්‍රගමනය අවුරා දමන රුදුරු සිරකඳවුරකි.