Breaking News

ගෝඨාභය රාජපක්ෂ කටුපොල් තහනම් කරන බවට තුන්වැනි වරටත් පොරොන්දු වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 9වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගී වෙමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුණි. එහිදී ඔහු සඳහන් කළ කරුණු අතර කටුපොල් වගාව තහනම් කිරීම ද සඳහන් ලදී. පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි සඳහන් කරන පරිදි ජනාධිපතිවරයා කටුපොල් තහනම් කරන බවට ගෝඨාභය රාජපක්ෂ මෙලෙස පොරොන්දු වූවේ තුන්වන වරටයි. ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත්කරන ලද තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ පරිසරය සුරැකීමට කටුපොල් තහනම් කිරීමට පොරොන්දු විය. එසේම ජනාධිපතිවරණයෙන් ජය ලැබීමෙන් දින කිහිපයකට පසු හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ කටුපොල් වගාව තහනම් කිරීමට අදාළ තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති බවයි. ජනාධිපතිවරයා ගාල්ලේ පැවති රැස්වීමකදී ද කටුපොල් තහනම් කරන බවට ගාල්ලේ ජනතාවට පොරොන්දු විය. නමුත් සිදුවූ දෙයක් නැත.

පසුගිය රජය සමයේ කටුපොල් තහනම් කරමින් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබේ. නමුත් එය නීතියක් පත්වීමට අවශ්‍ය පරිදි ගැසට් නිවේදනයක් නිකුත් නොකෙරිණි. දැන් ගෝඨාභය රාජපක්ෂට අමතුවෙන් කටුපොල් තහනම් කරන බව පැවසීමට අවශ්‍ය නැත. කළයුතු වන්නේ තවත් පොරොන්දු පමණක් නොදී කටුපොල් තහනම ගැසට් කිරීමයි.

ජනාධිපතිවරයා විසින් අද දින ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සඳහන් කළ කරුණු කෙටියෙන් මෙසේ දැක්වේ.

ජනතා නියෝජිතයින් ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කළ යුතුයි.
ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙලේ සාර්ථකත්වය ජනවරමින් තහවුරු වුණා.
පොරොන්දු වූ පරිදි පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙම ජනවරමට හේතුවක්.
ජනතා විශ්වාසය ආරක්ෂා කරගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කරනවා.
නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනවා.
රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදෙනවා.
සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරනවා.
ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා.
ඖෂධ ආනයනයේ දී පවතින දූෂණය තුරන් කරනවා.
කිසිදු රජයේ ආයතනයකට අනවශ්‍ය පරිදි සේවකයින් බඳවා ගැනීමෙන් වළකිනවා.
රැකියා වියුක්තිය විසඳීමට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදෙනවා
කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කරනවා.
විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරමින් උසස් අධ්‍යාපනයට වැඩි අවස්ථාව සලසනවා.
ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කරනවා.
දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කරනවා.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ සිදුකරන ධීවර කටයුතු නතර කරනවා.
මුදල් බලතල රාජ්‍ය අමාත්‍යවරුන්ට ද ලබා දී තිබෙනවා.
නාස්තිය හා දූෂණය සිදුකරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙනවා.
රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සපුරාගැනීමේ ප්‍රමිතිය පසු විපරම් කරනවා
එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය ලබා දෙනවා
නව ව්‍යවස්ථාවක් තුළින් මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කරනවා
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා.

leave a reply