Breaking News

A /L අසමතුන්ගේත් උසස් අධ්‍යාපන අයිතිය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය සමත් සිසුන් සරසවි වරම් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ඉවත දමයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීම නිසා ලැබූ උසස් සාමාර්ථ අනුව, සාධාරණ අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් හතළිස් දෙදෙනෙකු යොමුකළ මූළික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ශිෂ්‍යයන් විසින් ඉල්ලා තිබිණි. ඔවුන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය.

බුවනෙක අළුවිහාරේ, එස්. තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් පිළිබඳව සලකා බැලීම දින තුනක් පුරා සිදුකෙරුණි.

මෙලෙස අගතිය පත්ව ඇත්තේ උසස් පෙළ සුදුසුකම ඉතා හොදින් සම්පූර්ණ කළ සිසුන් වේ. මෙම ගැටලුව වෙනුවෙන් පෙනී සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන ආකාරයට ආණ්ඩුව කළ යුත්තේ වැඩිපුර සිසුන් බඳවාගැනීම් කිරීමටත්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටත් දේශපාලන තීන්දුවක් ගැනීම පමණි. නමුත් ආණ්ඩුව එය සිදුකිරීම මග හරිමින් සිටියි. සිසුන් අධිකරණයේ පිහිටක් බලාපොරොත්තු වෙන්නේ ඒ හේතුවෙනි.

උසස් පෙළ සමත් සිසුන්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ගැන අධිකරණය නොතකා හරින්නේ උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය වෘත්තීයට පිවිසීමට අවස්ථාව ලබාදුන් පසුබිමක වීමද විශේෂත්වයකි. සයිටම් හොර උපාධි කඩයෙන් අධ්‍යාපනය ලැබූ සිසුන් රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මිට ඉහතදී නියෝග කළ ආකාරය අපට මතක ඇත. මෙම නඩු තීන්දුව හරහා සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 82 ක් වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි වීමට නියමිතව තිබේ. ඉන් බොහෝ දෙනෙක් උසස් පෙළ අවම සුදුසුකම් හෝ සපුරා නැති සිසුන් වූ බවද නැවත මතක් කිරීමට සිදුවේ.

leave a reply