Breaking News

කටුපොල් තහනම කඩවුණු පොරොන්දුවක් වෙන ලකුණු – දේශීය කර්මාන්ත වැටෙන්න දෙන්න බැරි බව බන්දුල කියයි

වත්මන් රජය කටුපොල් තහනම් කරන බවට 6 වන අවස්ථාවටත් ප්‍රකාශ කර ඇතත් කටුපොල් තහනම ගැසට් කරන ලෙසට වන ඉල්ලීම් තවමත් ඉටු කර නොමැති බව පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි.

එම හිමියන් පැවසුවේ කටුපොල් තහනම් කිරීම වෙනුවෙන් පරිසර සංවිධාන දිස්ත්‍රික්ක 5ක ජනතාව දිගින් දිගටම අරගල කරමින් සිටි බවයි. උද්ඝෝෂණ කරමින්, බලධාරීන්ට ලිපි යොමුකරමින්, ජනාධිපති කාර්යාල වෙත යමින් සිදුකළ අරගලයේදී සිරගතවීමට, අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටීමට සහ කටුපොල් සමාගම්වල බලපෑම්වලට ලක්වීමට සිදුවූ බව ද චන්ද්‍රජෝති හිමි පවසා තිබේ.

චන්දජෝති හිමි වැඩිදුරටත් පවසන්නේ එම අරගලයට ඇත්ත ජයග්‍රහණයක් ලැබීමට නම් ගැසට් මගින් කටුපොල් තහනම් කළ යුතු බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) නිවේදනය කර තිබුණි.

නමුත් ඊයේ(06) දින කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළව නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයේ කාලීන අවශ්‍යතාවයන් මත යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවයි.

බේකරි සහ බිස්කට් කර්මාන්ත කරුවන්ට ෆාම් ඔයිල් සඳහා අවසර

බේකරි හා බිස්කට් කර්මාන්තවල නිෂ්පාදන සඳහා අවශ්‍ය පාම් ඔයිල් හිඟයකින් තොරව ආනයනය කිරීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

ඒ අනුව පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් උක්ත කර්මන්තවලට බලපෑමක් ඇති නොවන බවයි අමාතයවරයා සඳහන් කළේ.

පාම් ඔයිල් ආනයනය හා කටු පොල් වගාව තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවෙන් පසු බේකරි සහ බිස්කට් කර්මාන්තයත් විනාශ වෙන බවට මතවාදයක් ගෙන ගියද එම කර්මාන්තකරුවන්ට එමඟින් බලපෑම් නොවන අතර ඒ සඳහා ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබා දීමට තීරණයක් ගත් බව අමාත්‍යවරයා පවසා ඇත.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ යම් අයෙකුට පාම් ඔයිල් ගෙන්වීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ ගැන අභියාචනයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීම හමුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රශ්න කර සිටියේ, දේශීයව වගාකර නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් සඳහා අවසර හිමිවන්නේ ද යන්නයි.

රජයක් ලෙස කිසි ලෙසකින් රටේ නිෂ්පාදන අඩපණ කිරීමට ක්‍රියා නොකරන බව ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන සඳහන් කරන ලදී.

නියමිත ප්‍රමිතීන්ට අනුව රට තුළ එය නිෂ්පාදනය කරන්නේ නම් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බවයි හෙතෙම පවසා තිබේ.

මෙවැනි කරුණු හරහා පෙනී යන්නේ ෆාම් ඔයිල් සහ කටුපොල් තහනම් කරන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළත් එය නිකම්ම නිකම් මාධ්‍ය සංදර්ශනයක් වීමේ අවධානමක් ඇති බවයි. පසුගිය වසර කිහිපය තුළ බලයට පත්වූ ආණ්ඩු කටුපොල් තහනම් කරන බව කිහිප අවස්ථාවක් පැවසුවත් එය ගැසට් මගින් ක්‍රියාත්මක නොකළේ ජනතාවගේ ඉල්ලීම්වලට වඩා කටුපොල් වගාකරන සමාගම්වල ඉල්ලීම්වලට කන්දීම හේතුවෙනි. ඉදිරියේදීද එහි වෙනසක් සිදුවෙනු ඇතැයි සිතීම අපහසුවේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ විෂ අඩංගු ආහාර වර්ග කිහිපයක් ඇති බවත් ඒවා හෙලිකලහොත් එම සමාගම් කඩාවැටෙන බවයි. බන්දුල මේ පවසමින් සිටින්නේද එයට සමාන කතාවකි. පරිසරයට සහ ජනතාවට කුමක් උනත් කමක් කම් නැත කර්මාන්ත ආරක්ෂා කළ යුතු බවයි.

leave a reply