නිදන් කව

ඇසෙන විට
හැම විට ම
අතීතයේ
වදුල තුළ
සැඟව ඇති
නිදන් ගැන
මට සිතෙන
දෙයක් ඇත

අනාගතයේ දිනෙක
කැණ බලන මිනිසකුට
ලැබෙන සේ යම් දෙයක්
නිදන් කළ යුතු නොවෙ ද
මා වුව ද…

මුතු මැණික් – රන් කොතල
දඹ පිළිම – රජ කිරුළු
උගුල් මැද
නිදන් කළ
පරපුරට
කට කොණින්
සිනාසෙමි.

අරක්ගත් භූතයින්
ඇදී එන නාගයින්
පිළිනොගනු ඇත එදින
අනාගත මිනිස් මිත,

ඔබ පැමිණ කණින විට
අතීතෙට අයිති නැති
මිනිසුන් ද සිටිය වග
ඔබට වැටහෙනු පිණිස
මං ලියන මේ කවිය
නිදන් කර තබන්නෙමි.

තරු අතර යනෙන විට
ආලෝක වේගයට
ග්‍රහලෝක මත සෑදෙන
ගම් නගර අතර මැද
බය නැතුව මේ කවිය
ගෙනියන්න…

සැක කරන අය වෙතොත්
මිනිස් පැතුමන් නිතර
අතීතෙන් මා එවූ
අතීතෙට අයිති නැති
මේ කවිය ඒ අයට
පෙන්නන්න…

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Share post:

Popular

More like this
Related