Breaking News

බන්ධනාගාර රැඳවියන් මරා දැමීමේ ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය පරාජයට පෙලගැසෙමු – සම අයිතිය ව්‍යාපාරය

බන්ධනාගාර රැඳවියන් මරා දැමීමේ ලංකා ආණ්ඩුවේ ම්ලේච්ඡ ක්‍රියාකලාපය පරාජය කිරීමට පෙලගැසෙන ලෙස සම අයිතිය ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍ර ලැදි සියලු දෙනාගෙන් ඉල්ලා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළ වගකිවයුත්තන්ට අදාලව මේ දක්වාම නෛතික පියවරක් ගෙන නොමැති ආකාරයේම ඉරණමක් මහර බන්ධනාගාර සිදුවීමට අත්වීමේ ලකුණු දැනටමත් පෙනෙන්නට තිබෙන බවයි. එබැවින් මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකර වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද, බන්ධනාගාරවල සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කර තදබදය අඩු කරන ලෙසද, අධිකරණ කටයුතු කඩිනම් කරන ලෙසද ආණ්ඩුවට බලකර සිටින බව සම අයිතිය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සම අයිතිය ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

බන්ධනාගාර රැඳවියන් මරා දැමීමේ ලංකා ආණ්ඩුවේ ම්ලේච්ඡ ක්‍රියාකලාපය පරාජය කිරීමට පෙලගැසෙමු!
නොවැම්බර් 29 වැනිදා රාත්‍රියේ ලංකාවේ ප්‍රධාන පෙළේ බන්ධනාගාරයක් වන මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය අතර ඇතිවූ ගැටුමකට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත්වී දැවැන්ත මර්දනයක් එල්ල කරන ලදී. දෙසැම්බර් 1 වැනිදා වනවිට එල්ලවූ වෙඩි පහර වලින් රැඳවියන් 11 දෙනෙකු මිය ගොස් 117 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි. අසාධ්‍ය තත්වයේ රැඳවියන් දස දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සිටින නිසා ඇතැම් විට මියයන සංඛ්‍යාව තවත් ඉහල යාමට ඉඩ තිබේ. මෙම ඛේදවාචකයට ආරම්භය නිර්මාණය වුයේ කොවිඩ්-19 වසංගතයට ගොදුරු වීම වලක්වා ගැනීම සඳහා රැඳවියන්ට අවශ්‍ය මූලික පහසුකම් බන්ධනාගාර වල නොතිබීමත් සමගිනි.
ලංකාව තුළ කොවිඩ් – 19 වසංගතය ව්‍යාප්ත වූ 2020 මාර්තු මාසයේ සිට ජුලි මාසය දක්වා වූ පළමු අදියරේදී බන්ධනාගාර තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වුයේ ඉතා අඩුවෙනි. නමුත් ඔක්තෝබර් මාසයේ මුල සිට වාර්තා වූ වසංගතයේ දෙවන රැල්ල තුළ බන්ධනාගාර වලටද වෛරසය ව්‍යාප්ත විය. නොවැම්බර් 30 වැනිදා වනවිට බන්ධනාගාර ආශ්‍රිතව 1091 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි. ඒ අතරින් 1033 දෙනෙක් රැඳවියන් වන අතර 58 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වේ. ඔවුන් අතරින් දෙදෙනකු මියගොස් ඇත.

නොවැම්බර් 29 වැනිදා සිදුවීම ආරම්භ වන අවස්ථාවේ මහර බන්ධනාගාරයෙන් ආසාදිතයන් 183ක් වාර්තා වී තිබිණි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වැලැක්වීම සඳහා අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම් පවා බන්ධනාගාර තුළ නොවූ අතර බන්ධනාගාර වලට ඔරොත්තු නොදෙන තරමේ විශාල තදබදය නිසා රෝගය පාලනයකින් තොරව පැතිරී යමින් තිබේ. උක්ත සිදුවීම හටගත් මහර බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 1000කට පමණ මුත් සිදුවීම අවස්ථාවේ රැඳවියන් 2300ක් පමණ එහි රඳවා තිබිණි. පොදුවේ ලංකාවේ බන්ධනාගාර වල ඉඩ ඇත්තේ රැඳවියන් 11,762කට පමණක් මුත් දැනට එම අවකාශයේ රැඳවියන් 31,000ක් පමණ සිටී. ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සමාජ දුරස්ථභාවය පවත්වාගත නොහැකි වීමට අමතරව ජලය, වැසිකිලි ආදී පහසුකම් වල දරිද්‍රතාව නිසා සනීපාරක්ෂාව අතිශය දුර්වලය. බන්ධනාගාර වල රෝගය වැළඳෙන අය සහ රෝග ලක්ෂණ පෙන්වන්නන් අනෙකුත් අය සමග එකට රඳවා තිබීම නිසා වෛරස ව්‍යාප්තියේ අවදානම තවත් වැඩිවිය. එමෙන්ම රෝගීන්ගේ ආශ්‍රිතයන්ට සහ රෝග ලක්ෂණ පෙන්වන්නන්ට පවා පී.සී.ආර්. පරීක්ෂණ නොකිරීම නිසා රැඳවියන්ගේ ආතතිය වැඩි වෙමින් තිබිණි. ආහාර ලැබීම අක්‍රමවත් වීම, ආහාර ප්‍රමාණවත් නොවීම සහ ලැබෙන ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු වීම යන හේතු නිසා තත්වය තවත් පීඩාකාරී වී තිබිණි. පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ අධිකරණ කටයුතු අඩාල වී තිබු අතර උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම, සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම් වලටද බලධාරීන්ගේ ප්‍රතිචාරයක් නොතිබිණි. මෙම අවදානම්සහගත තත්වයට එරෙහිව රට පුරා බන්ධනාගාර ගණනාවක උද්ඝෝෂණ දියත් වෙමින් තිබු අතර එම උද්ඝෝෂණ වල ප්‍රධානතම ඉල්ලීමක් වුයේ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සහ පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද තහවුරු කිරීමයි. මහර බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයට ප්‍රවේශ වුයේ නොවැම්බර් 29වැනිදාය.

රැඳවියන් පවසන ආකාරයට නොවැම්බර් 29 සවස 5.00ට පමණ සිය ඉල්ලීම් පිළිබඳව බන්ධනාගාර පරිපාලනය සමග සාකච්ඡා කිරීමට රැඳවියන්ගේ නියෝජිත පිරිසක් පැමිණ ඇත. ඔවුන් සමග සාකච්ඡා කිරීම වෙනුවට ඔවුන් දන ගස්වා පොලු වලින් පහර දීම නිසා ප්‍රකෝපයට පත් රැඳවියන් ගැටුමක් ආරම්භ කළ බව ඔවුන් පවසයි. එහිදී විශේෂ කාර්ය බලකාය පැමිණ අමානුෂික අයුරින් වෙඩි තැබූ බව ඔවුන් පවසයි. නමුත් පොලීසිය පවසන්නේ රැඳවියන් පිරිසක් එම වෙලාවේ ප්‍රධාන දොරටුවෙන් පලායාමට පැමිණීම නිසා තත්වය පාලනය කිරීමට වෙඩි තැබීමට සිදුවූ බවයි.බන්ධනාගාර නිලධාරීන් පවසා තිබුණේ සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට, ලේඛනාගාරයට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබූ බවය. මුලින්ම රෝහල්ගත කළ රැඳවියන් 71 දෙනාගෙන් 55 දෙනෙකුට කොවිඩ් රෝග නිර්ණය පරීක්ෂණ සිදු කළ අතර ඒ අතරින් 38 දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බව නොවැම්බර් 30 සවස් වනවිට රාගම රෝහල ස්ථිර කළේය. ඒ අනුව රෝග ව්‍යාප්තිය ගැන රැඳවියන්ට තිබු සැකය නිවැරදි බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා 11 දෙනෙකුට ජීවිත අහිමි විය.

මෙම සිදුවීමට අදාලව රජය විසින් මහාධිකරණ විනිසුරුවරියකගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ පක්ෂපාතීත්වය සම්බන්ධ විවේචන දැනටමත් එල්ල වී තිබේ. මීට පෙර 2012 නොවැම්බර් 9 වැනිදා මේ ආකාරයටම කොළඹ පිහිටි වැලිකඩ බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බලකාය කඩාවැදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළ අතර එහි වගකිවයුත්තන්ට අදාලව මේ දක්වාම නෛතික පියවරක් ගෙන නැත. මේ සිදුවීමටද එවන් ඉරණමක් අත්වීමේ ලකුණු දැනටමත් පෙනෙන්නට තිබේ. මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙසද, රැඳවියන්ට වෙඩි තැබීමේ නියෝග නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද, බන්ධනාගාර වල සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කර තදබදය අඩු කරන ලෙසද, අධිකරණ කටයුතු කඩිනම් කරන ලෙසද ආණ්ඩුවට බලකර සිටින අපි සිදුවීමෙන් හානියට පත් සියලු දෙනාට යුක්තිය ඉටු කරන ලෙස තරය් ප්‍රකාශ කරමු. වත්මන් ආණ්ඩුව යටතේ දියත් වෙමින් පවතින මිලිටරි මර්දනීය පියවර වලටත්, ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් සහ නොනිල මිලිටරි මර්දනයන් ඒකාබද්ධ කරගත් අත්තනෝමතිකත්වයටත් එරෙහිව ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් එක්වන ලෙස ප්‍රජාතන්ත්‍ර ලැදි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

සම අයිතිය ව්‍යාපාරය
2020 දෙසැම්බර් 01

leave a reply