Breaking News

පලස්තීන කතා – අල්-ෂිෆා රෝහලේ සිට පලා ආ ජව්දත්ගේ අත්දැකීම

පලස්තීනයේ ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහලට ඊශ‍්‍රායලය විසින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුවී තිබේ. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක Ashraf al-Qudra, පවසා ඇත්තේ ඊශ්‍රායල වැටලීම් තුන්වන රාත්‍රිය සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන විට “කාන්තාවන්, ළමුන්, රෝගීන් සහ තුවාල ලැබූවන් දහස් ගණනක් ජීවිත තර්ජනයට ලක්ව ඇති බවයි. ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 11,470 ක් මිය ගොස් ඇත. නමුත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් මරණ සංඛ්‍යාව දින ගණනාවක් යාවත්කාලීන කර නොමැත. එසේම ඉන්ධන, සෞඛ්‍ය සහ ආහාරය හිඟය හේතුවෙන් මෙම තත්ත්වයන් තවත් උග්‍ර කර තිබේ.

අල්-ෂිෆා රෝහලේ සිට පලා ආ ජව්දත් නම් තරුණ වෛද්‍ය සහායකයෙක් අල්ජසීරා පුවත් සේවය වෙත සිය අත්දැකීම විස්තර කර තිබේ.

ඔහු අදහස් දක්වමින් පවසා ඇත්තේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මූලික ඖෂධ සහ උපකරණ පවා රෝහලේ නොතිබූ බවයි. “රෝහලේ මිදුලේ මළ සිරුරු සිය ගණනක් තිබෙනවා. අපිට ඒවා භූමදාන කරන්නවත් බැරි වුණා.”

අල්-ෂිෆා ගාසා තීරයේ පැරණිතම සහ විශාලතම රෝහල් පරිශ්‍රයෙන් කිසිවෙකුට ඇතුළුවීමට හෝ ඉන් පිටතට යාමට අවසර නැත. හමාස් සටන්කාමීන්ගේ අණදෙන මධ්‍යස්ථානයක් ඇති බව පවසමින් බදාදා ඊශ්‍රායල හමුදා එය වැටලූහ. එම ප්‍රකාශය අද දක්වා ඔප්පු වී නොමැත.

සෙනසුරාදා රෝහලට එහි විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීම නිසා එහි සියලුම වෛද්‍ය උපකරණ ක්‍රියාවිරහිත වී ඇති අතර නොමේරු ළදරුවන් රඳවා සිටින ඉන්කියුබේටර් ක්‍රියා විරහිත වීම හරහා ළදරුවන් 39 දෙනෙකුගේ ජීවිත අනතුරට ලක්වී ඇති බව පවසේ.

එසේම රෝහල තුල පවා සිටින පුද්ගලයන්ට ස්නයිපර් තුවක්කුකරුවන් වෙඩි තබන බව ජව්දත් පවසයි.

“මම ස්වේච්ඡා සේවකයෙක්,” ඔහු පැවසීය. “මම සමහර රෝගීන් බලන්න අවස්ථාව ලැබුනා. මට උදව් කළ හැකි ඕනෑම කෙනෙකුට බැන්ඩේජ් දැම්මා. මම සම්පූර්ණ පුහුණුව ලබපු කෙනෙක් නොවෙයි, නමුත් මම එය වසර එකහමාරක් විතර ඉගෙන ගෙන තියෙනවා, ඒ නිසා මම දන්නා පොඩි දෙයින් හරි යමක් කරන්න මට අවශ්‍ය වුණා. ”

“දවසක්, ලස්සන කුඩා ගැහැණු ළමයින් හතර දෙනෙක් ආවා, වැඩිමහල් දරුවා වයස අවුරුදු 13 ක් පමණ. ඔවුන්ගෙන් එක් අයෙක් පමණයි තුවාල ලබා තිබුනේ … ඔවුන් ඔවුන්ගේ මියගිය පවුල, පියා, මව, සහෝදරයා සමඟ ආවේ.අපි කළ යුතු දේ කර ඔවුන්ව භූමදාන කළා. ,”

තුවාල වූ කුඩා දැරිය මා දෙස බලා මෙහෙම කිව්වා: ‘අනේ මාමේ, මට ඔවුන් සමඟ මැරෙන්න දෙන්න. මම දන්නේ නැහැ මගේ දෙමාපියන් සහ මගේ සහෝදරයා නැතිව මම කොහොමද ජීවත් වෙන්නේ කියලා.’

“තවත් දවසක, ඔහුගේ පවුලට මරු කැඳවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ 12 හැවිරිදි පිරිමි ළමයෙක් අපට ලැබුණා. ඔහු මාව දකින ඕනෑම අවස්ථාවක, ඔහු කිව්වේ: ‘ඔබට මාව හොඳ කරන්න පුළුවන්ද නැත්නම් මට ඔවුන් සමඟ [මැරෙන්න] යන්න දෙන්න පුළුවන්ද?’

“මේ වැඩේ කරන්න අපිට කොහෙන් ශක්තියක් ලැබුණාද කියලා මම දන්නේ නැහැ. දිගටම කරගෙන යන්න දෙවියන් අපි හැමෝටම ශක්තිය දෙන්න ඇති. වෛද්‍යවරු වියරුවෙන් වගේ වැඩ කරමින් සිටියේ. ඔවුන් දින තුනක් හතරක් එක දිගට නිදා නොගෙන වැඩ කිරීමටත්, තවත් එක් දරුවෙකු, තවත් එක් අයෙකු බේරා ගත හැකි නම් ඕනෑම දෙයක් කිරීමටත් කැමැත්තෙන් සිටියා.”

“මට යාළුවෙක් ඉන්නවා, ඉස්ලාම් අල්-මුන්ෂිඩ්; දිනක් ඔහුව පිළිගැනීමේ ස්ථානයේ දැඩි ලෙස තුවාල වී සිටිනු දැකීමෙන් මම පුදුමයට පත්වුනා. පෙර දින අල්-ෂිෆා ගේට්ටුවට ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඔහුට තුවාල සිදුවී ඇති බවත් දැනගන්නට ලැබුනා. මම වෛද්‍යවරුන්ගෙන් ඔහුගේ තත්ත්වය විමසුවා. ඔවුන් කිව්වේ. : ‘ඔහුගේ මොළය මිය ගිහින්, නමුත් ඔහුගේ ශරීරය තවමත් හුස්ම ගන්නා. ඔහුට සමාදානයේ සැතපීමට යාච්ඤා කරන්න.’

“දින තුනක්, පැය 72ක්, මම සෑම පැයකට වරක් ගොස් ඔහුව පරීක්ෂා කර බැලුවා. ඔහු තවමත් හුස්ම ගන්නවාද නැද්ද යන්න සොයා බැලීමට ඔහු මිය යන තුරු.”

“අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. අපිට අඩුම තරමේ උපකරණ තිබුනා නම්, සමහර විට අපට ඔහුට උදව් කළ හැකි නමුත් අපට කිසිවක් නොතිබූ නිසා අපට කිසිවක් කළ නොහැකි වුණා. මගෙ යාළුවගේ හිස් කබල ස්ථාන දෙකකින් කැඩී තිබුනා, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔහුට හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වුනත් නමුත් අපට එය කළ නොහැකි විය.”

ජව්දත් සහ ඔහුගේ බිරිඳ, මේ(May) ගාසා තීරයේ බොහෝ පවුල් මෙන්, නිර්දය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමටත් පසුව නැවත එක්විය හැකි බවටත් බලාපොරොත්තුවෙන් වෙනම ස්ථානවල රැඳී සිටීමට තීරණය කර තිබේ.

මේ 23 දා ගාසා නගරයේ සිටි නමුත් යුද ටැංකි, ස්නයිපර්වරුන් සහ වීදිවල අතුරා ඇති බෝම්බ හේතුවෙන් ජව්දත්ට ඇය වෙත ළඟා වීමට නොහැකි විය.

“මගේ මවට වකුගඩු ආබාධ තියෙනවා, නමුත් ඇය කිසි විටෙකත් තම නගරය හැර නොයන බවකියනවා. ඇය කියන්නේ: ‘මේ රටේ මිනිසුන් වන අපි එය අත්හැරියොත්, එය රැකබලා ගැනීමට ඉතිරි වන්නේ කවුද?

“නමුත් ඇය දිගටම සිටීම ඇගේ ජීවිතයට අනතුරක්.”

“තුවාල වූවන් වෙනුවෙන් අපට බොහෝ දේ කළ නොහැකි වුනා. ගෝස් නැහැ, ඔක්සිජන් නැහැ, සැපයුම් නැහැ. අපට කළ හැකි වූයේ ඔවුන්ගේ තුවාල පිරිසිදු කිරීම පමණයි. මිය ගිය අයගෙන් සමහරක් … ඔවුන්ට අවශ්‍ය වූයේ ඔක්සිජන් ස්වල්පයක් පමණයි.

නොමේරූ ළදරුවන් සඳහා අවශ්‍ය ඉන්කියුබේටර් නොමැතිව හැකිතාක් උණුසුම්ව ඔවුන්ව තබා ගැනීම සඳහා ඔවුන් සියල්ලන්ම තදින් එකට බැඳ ඔවුන්ව වෙනත් තැනකට මාරු කිරීමට ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට (ICRC) උදව් කිරීමට හැකිවීම එකම සහනය වූ බව ජව්දත් පවසයි.

‘නොමේරූ ළදරුවන් මාතෘ වාට්ටුවේ සිට පිළිගැනීමේ ශාලාවට ගෙන යාමට ICRC අපට පැයක කාලයක් ලබා දුන්නා,”

“ඔවුන් අපට වෙඩි නොවැදීම සඳහා ජනේලවලින් ඈත්ව සිටින ලෙසද අපට පැවසුවා. ඇත්ත වශයෙන්ම, එම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අපි ඔවුන්ට ඉතා ‘කෘතඥ’ වෙනවා”

ජව්දත් රෝහලෙන් පලා පැමිණ ඇත්තේ ඊශ්‍රායල සොල්දාදුවන්, යුද ටැංකි සහ ස්නයිපර්වරුන් පසුකර දකුණු දෙසට ගමන් කිරීමට බලාපොරොත්තු වන අල්-ෂිෆා හි නවාතැන් ගෙන සිටි අවතැන් වූවන් පිරිසක් සමඟිනි.

එය විශාල අවදානමක් දැරීමක් විය.

“[සඳුදා] උදේ, අපට රෝහලේ රෝගීන් හයක් පැමිණියා. ඔවුන් සියලුම දෙනාට තුවාල සිදුවී තිබුනා. ඊශ්‍රායල හමුදාව ඔවුන් සිටි ගොඩනැගිල්ලෙන් පිටවීම කමක් නැතැයි පැවසීමෙන් පසුව ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටවූ පසු වෙඩි තබා තිබෙනවා.”

එහෙත් පෙර දින පිටත්ව ගිය කණ්ඩායමක් ආරක්ෂිතව පලා යාමට සමත් වූ බව ඔහුට ආරංචි විය.

“ඔවුන්ට වෙඩි තිබ්බා කිව්වා, නමුත් ඔවුන් පලා ගොස් තිබුනා. ඒකට පොඩි ධෛර්යයක් අවශ්‍යයි.”

ජව්දත් සහ ඔහුගේ සහචරයන්ට තුන් වතාවක් වෙඩි තැබූ අතර, ස්නයිපර්වරුන් මග හැරීමට සෑම අවස්ථාවකදීම දිව යාමට ඔවුන්ට සිදුවී ඇත. අවසානයේදී, දුර්වල පුද්ගලයින්ගේ වේගය අඩුවෙන විට කණ්ඩායම බෙදී ගිය අතර අනෙක් අය විවිධ මංසන්ධිවලදී බෙදී ගොස් ඇත.

එක් අවස්ථාවකදී, ජව්දත් සහ තවත් කිහිප දෙනෙකු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් නවත්වා ඇති අතර, ඔවුන් ඔවුන්ගේ හැඳුනුම්පත් අතැතිව දෑත් ඉහළට ඔසවාගෙන සිටීමට අණදී තිබේ. එක් මිනිසෙක් ඔහුගේ හිස කැසීමට පටන් ගත් අතර, ජාව්දත් පැවසුවේ ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඔහුව කැඳවනු ලැබූ බවයි. ඉන් පසු ඔහුට සිදුවූයේ කුමක්දැයි ඔහු දන්නේ නැත.

තවත් අවස්ථාවක, “ඔවුන් මිනිසුන් 20 දෙනෙකු පමණ රැගෙන ගොස් ඔවුන්ව නිරුවත් කර, ඔවුන්ට පහර දී, නින්දා කර, පසුව ඔවුන්ව නිදහස් කළා. එය හරියට සොල්දාදුවන්ට කම්මැලි වූ ඔවුන් හිරිහැර කිරීමට හා නින්දා කිරීමට කෙනෙකු තෝරා ගන්නවා වගේ. ”

ජවුදාත් පාරේ දුටු නරකම දෙය එය නොවේ. ඔහු මළ සිරුරු පසුකරගෙන ඉදිරියට යනවිට , කුඩා දැරියකගේ පාදයක් සහ වයස අවුරුදු 50 ගණන්වල කාන්තාවකගේ මළ සිරුරක් දුටු බව ඔහු පවසයි. ‘ඇගේ යාඥා ඇඳුම් ඇඳගෙන, ඇය බිම වැතිර සිටියා’

ජව්දත් Deir el-Balah වෙත පලා ඒමට සමත්ව ඇත. අල්-ෂිෆා වෙතින් පලා පැමිණි අයගෙන් තවත් කී දෙනෙක්ට එසේ කිරීමට හැකිවූවා දැයි ඔහු දන්නේ නැත.

leave a reply